ඩෙංගු මඬින්න දැවැන්ත මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – වේගයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ලබන සිකුරාදා (28), සෙනසුරාදා (29) සහ ඉරිදා (30) යන තෙදින දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ලබන සිකුරාදා දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපවත්වන ලෙසත්, ඒ වෙනුවට එදින දරුවන්, මවුපියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ අසල්වාසීන් සම්බන්ධ කර ගෙන පාසල හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීම කටයුතු කරන ලෙසත් දන්වා තිබේ. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ද හිමි වී තිබේ.

සිකුරාදා දිනයේ පාසල් පැමිණෙන විට පාසල් නිල ඇඳුම හෝ ඒ වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් දරුවන්ට පාසල වෙත පැමිණිමට අවසර ලබාදීමට ද තීරණය වී ඇත.

සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී ද සියලු දෙනාගේ දායකත්වය සහිතව මේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් සිදු කෙරෙන දුමායන කටයුතු සහ අනෙකුත් මදුරු මර්දන සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ කටයුතු විදුහල්පතිවරුන් මඟින් සිදු කිරීමට ද තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *