නව ක්‍රමවේදයට බැදුම්කර නිකුත් කිරීම හෙට

(කොළඹ, ලංකාපුවත්) – නව ක්‍රමවේදය යටතේ බැඳුම්කර නිකුත් කිරීම හෙට (27) සිදු කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

බැඳුම්කර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ මෙම නව ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කිරීම 100%ක් ම විනිවිදභාවයෙන් සිදු කෙරෙන බවයි.

ඒ අනුම මෙම බැඳුම්කර ගන්නේ කවුද? කොපමණ ප්‍රමාණයක් ගත්තේද? කීයටද වික්කේ? යන්න පිළිබඳ ඕනෑම තොරතුරක් මෙම නව ක්‍රමය තුළින් ලබාගැනීමට හැකි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මීට පෙර බැඳුම්කර ලබාගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් නොතිබුණු අතර එහිදී 10%, 15% ,20% බැදුම්කර වෙන්දේසි මඟින් ලබාගත් අතර ඉතුරු 90%,85%,80% සෘජු දීමනා හරහා ලබාගත් බවත් නව ක්‍රමය ඔස්සේ බැඳුම්කර ලබාගැනීම සම්පූර්ණ වෙන්දේසි ක්‍රමයක් ඔස්සේ සිදු කෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව ක්‍රමය යටතේ මසකට එක්වරක් බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම, කාණ්ඩ දෙකක් පමණක් ඉදිරිපත් කිරීම, සෑම මසක 15 වැනිදා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සිදු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

තරගකාරී වෙන්දේසිය, තරගකාරී නොවන වෙන්දේසිය සහ අනිවාර්ය පැවරීම යානාදී වශයෙන් බැදුම්කර වෙන්දේසිය අදියර 3ක් යටතේ සිදු වන බවත් මෙහිදී අනිවාර්ය පැවරීම ඉතා කලාතුරකින් සිදු වන්නක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පොලී අනුපාතය යම්කිසි විදියකින් කළමනාකරණය කළ හැකිවීම මෙහි ප්‍රධාන වාසියක් ලෙස පෙන්වා දිය හැකි බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *