කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට නොහැකියි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව විසින් බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුව රජයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතර දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමග රටේ සුබසිද්ධිය සඳහා යන ගමන නවතා දැමීමට කිසිවෙකුට නොහැකි බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(26) පස්වරුවේ ඉබ්බාගමුව, කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරව පැවති ජන හමුව අමතමිනි.

තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වර්ජනය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඒ හේතුවෙන් රටේ පොදු ජනතාව දැඞී අසීරුතාවයකට පත්ව ඇති බවයි. ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවස්ථාව පවතින බවත් වැඩවර්ජන නතර කර වහාම සේවයට වාර්තා කරන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපතිතුමා වෛද්‍යවරුන්ට ද අද වැඩ වර්ජන කි‍්‍රඩාවක් බවට පත්ව ඇති අතර එහිදී මිනිස් ජීවිතවලට කිසිඳු වටිනාකමක් හිමි නොවීම කණගාටුවට කරුණක් බව ද සඳහන් කළේය.

හම්බන්තොට වරාය පිළිබඳ රජය චීන සමාගමක් සමග ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම පිළිබඳ තිබෙන්නේ ඉතා වැරදි අවබෝධයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා රටේ භූමියෙන් බිම් අගලක්වත් ලෝකයේ කිසිදු රටකට හෝ සමාගමකට ඔප්පුවකින් හෝ සින්නක්කරව පවරා දීමට තමා ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

ඉතිහාසයේ කිසිඳු පාලකයෙකු සිදු නොකළ අයුරින් රටේ භූමිය වෙනත් රටවලට පවරා දුන්නේ පසුගිය පාලන සමය තුළ බව පැවසූ ජනාධිපතිතුමා කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය සඳහා අක්කර 200 ක් සින්නක්කරව චීන සමාගමකට පවරාදී තිබූ අතර එම තත්ත්වය වෙනස්කර එය බදු ක‍්‍රමයකට පත්කරන ලද්දේ වත්මන් රජය බව ද පැවසීය.

එදා කිසිවෙකු මේ සඳහා වර්ජන සහ උද්ඝෝෂණවල නිරත නොවූ අතර අද ඒ සියලුදෙනාට නිදහස ලැබී තිබෙන්නේ වත්මන් රජය යටතේ බව පැවසූ ජනාධිපතිතුමා එසේ නමුත් සුළු පිරිසකගේ කටයුතු හේතුවෙන් අති බහුතර ජනතාවක් පීඩාවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසර දෙකක් සපිරෙන ලබන මාසයේදී රජය ඉදිරි වසර කිහිපය තුළ ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත සුබසාධන කටයුතු රැසක් පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

මේ අතර හිරියාල, මිගහඇළ ප‍්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ද අද පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. තිත්තවැල්ල ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ද අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම කටයුතු නිමවා කොළඹ බලා පැමිණෙන අතරතුර ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීමට ද එක් වූ ජනාධිපතිතුමා විදුහල්පතිනිය සමග කෙටි කථා බහක නිරතවෙමින් එම සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීය.

අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික, කුරුණෑගල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම්.එස්.එම්. ෆාහීම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *