විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – දේශීය වෛද්‍ය විද්‍යාව සහ විකල්ප ආයුර්වේද ක්‍රම පිළිබඳ වෙළඳ ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස ශ්‍රි ලංකාවේ දී පැවැත්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පවත්වන මෙම ප්‍රදර්ශනය වෙළඳ කුටි 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

ඇමරිකාව, උතුරු කොරියාව, ඉන්දියාව, චීනය, ඇතුළු විදේශීය රටවල රැසක් මේ වන විටත් වෙළඳ කුටි ලබා ගෙන ඇත. දේශීය සමාගම් 200 ක් පමණ වෙළඳ කුටි ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත. දේශීය වෛද්‍ය ක්‍රම සහ වෙනත් රටවල වෛද්‍ය ක්‍රම පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් ද , ඊට ඇතුලත් වේ. එම සම්මන්ත්‍රණය සඳහා රටවල් 82 ක අමාත්‍යවරු, නිලධාරීන් සහභාගී වීමට නියමිතය. විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ විද්වතුන් 500 ක් ද, මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට සූදානමින් සිටිති. ශ්‍රී ලංකාවේ ආයූර්වේද වෛද්‍යවරුන්ට ද තම දැනුම මෙම සම්මන්ත්‍රණයේ දී ලබා දීමට අවස්ථාව උදා වෙයි.

ශ්‍රි ලංකා කර්මාන්ත හා වානිජ මණ්ඩලය මෙම ප්‍රදර්ශණයට පූර්ණ සහයෝගය ලබා දෙන අතර ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට දායක වී සිටිති.

දේශීය වෛද්‍ය විද්‍යාව ජාත්‍යාන්තරය හා සම්බන්ධ කරවීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *