’77 පෙරළියට 40යි’ ප්‍රදර්ශනය හා සැණකෙලිය මහරගමදී

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් “77 පෙරළියට 40 යි විශේෂ ප්‍රදර්ශනය හා සැනකෙළිය මහරගම ජාතික තරුණ සේවා සභාවේදි අද (27) සවස 4 ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

දින හතරක් පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය 28, 29, 30 දිනයන්හි උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවත් 2017 වසරේ සිට ඉදිරි වසර 40 ක රටේ සංවර්ධන දැක්ම පෙන්වන ආකාරයෙන් නිර්මාණය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිළිබඳ ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව ඊයේ (26) ප්‍රකාශ කෙළේය.

1977 වසරේ විවෘත ආර්ථිකය ආරම්භ කිරීමේ ඉතිහාසය සහ 2017 වසරේ සිට වසර 40 ක් ඉදිරියේදි සිදු කරන සංවර්ධන ක්‍රියාදාමය මේ ප්‍රදර්ශනයට ඇතුළත් වන බවත් පාසල් දරුවන් ඇතුළු මෙරට තරුණ ජනගහනයට වඩාත් ප්‍රයෝනවත් වන ආකාරයෙන් ප්‍රදර්ශනය පවත්වන අතර ප්‍රදර්ශනය නැරඹීමට සියලු මහජනතාවට විවෘත ආරාධනාවක් කරන බවත් ඇමතිවරයා පැවැසුවේය.

1977 වසරේදි විවෘත ආර්ථිකය මෙරටට හදුන්වාදෙමින් එජාප ආණ්ඩුව මෙරට ආර්ථිකයේ විශාල විප්ලවයක් සිදු කළා මෙන්ම මේ ප්‍රදර්ශනය මගින් එම ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනය කරමින් සමාජ වෙළෙදපොළක් මෙරටට හදුන්වාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යාංශ කිහිපයක අනුග්‍රහය යටතේ පවත්වන මේ ප්‍රදර්ශනයට සංගීත සංදර්ශනයන් ද ඇතුළත්ය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 77 දි ඇති කළ මේ විවෘත ආර්ථික විප්ලවය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල දියුණුවට සමගාමීව විශාල දියුණුවක් අත්පත් කර ගෙන ඇති බවත් එම විප්ලවයෙහි යහපත් ප්‍රතිඵල මෙරට ජනතාව වර්තමානයේදි භුක්ති විඳිමින් සිටින බවත් ඇමතිවරයා අවාධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *