(කොළඹ, ලංකාපුවත්) – හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය පිළිබඳවද අප අවධානය යොමු කරනවා. හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව, ලැගූන් ඊෂ්ට් වීව් හෝටලයේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින් පැවසී ය.
මඩකලපුව, Lagoon East View හෝටලයේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.
අද මා මෙහි පැමිණියේ ආණ්ඩුකාරතුමත්, පළාත් මහ ඇමැතිතුමත් ඇතුළු පළාතේ නිලධාරීන් සමග සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටයි. නැගෙනහිර පළාතට සම්පත් ගණනාවක් තිබෙනවා. නමුත් එම සම්පත්වලින් අප සම්පූර්ණ ප්‍රයෝජනය අරගෙන නැහැ. අප එම සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප්‍රයෝජනය ගත යුතුයි.
ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනම මේ ප්‍රදේශයේ එකට ජීවත් වෙනවා. එය මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව මෙහි ඉන්නවා. ඒ සියලූම ජන කොටස් ඒකාබද්ධව වැඩ කර දියුණුව ඇති කරන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි.
මේ පිළිබඳව අප ආණ්ඩුකාරතුමන් සමගත් සාකච්ඡා කළා. එතුමාත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පරිපාලන යාන්ත්‍රණයත්, මහ ආණ්ඩුවත් එකට එකතු වී මේ ප්‍රදේශයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහනක් ඇති කිරීම අපේ අරමුණයි.
මහ ආණ්ඩුවෙන් කළ යුතු සියලූම වැඩසටහන් අප කරනවා. එමෙන්ම පළාත් සභාව විසින් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනවා. මේ සියලූම දෙනා ඒකරාශී කරගෙන කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන වශයෙන් සැලසුම් සකස් කර ඉතා ඉක්මනින් මෙම සංවර්ධනය ක්‍රියාත්මක කළ යුතුයි. කතා කිරීමෙන් පමණක් ඵලක් නැහැ. වැඩේ සිදුවිය යුතුයි.
දැන් ආර්ථික ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. එම නිසා පළාත් තරගකාරී අයුරින් දියුණුවට පත් විය යුතුව තිබෙනවා. තමන්ගේ පළාතේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට සියලූම පළාත් බලධාරීන් ක්‍රියා කළ යුතුයි.
එවිට වඩාත් ශීඝ්‍ර අයුරින් සංවර්ධනය කරා ළඟාවිය හැක්කේ කාටදැයි බලාගන්නට හැකියාව ලැබෙනවා. යුද්ධයෙන් විනාශයට පත්වූ උතුර සහ නැගෙනහිර ප්‍රදේශයට විශේෂයෙන් සලකන්නට විදේශ ආධාර සහ වැඩසටහන් තිබෙනවා. අප ඒවායින් ප්‍රයෝජන ගත යුතුයි. අප එම ප්‍රයෝජනය නොගතහොත් ලෝකයේ ධනවත් රටවල් යුද්ධය නිසා විනාශ වූ සෙසු රටවල් ගොඩනැංවීම සඳහා එම ආධාර යොමු කරනු ඇති. ඒ නිසා අපට ලැබුණු විදේශ සහනවලින් අප නිසි ප්‍රයෝජන ගත යුතුව තිබෙනවා. පළාත් අතර සංවර්ධන කටයුතු නිසි පරිදි සම්බන්ධීකරණය විය යුතුව තිබෙනවා.
මඩකලපුව යනු වරායන් දෙකක් අතර තිබෙන ප්‍රදේශයකි. හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන වරායන් දෙකට මැදිවී මෙම ප්‍රදේශය පිහිටා තිබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කළ පසුව එම ප්‍රදේශය ශීඝ්‍ර දියුණුවකට ලක් වීමට නියමිතයි. එතැන් සිට අම්පාරට වැඩි දුරක් නැහැ. ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශය ඇතුළු දිස්ත්‍රික්කයම සංවර්ධන සැලැස්මක් හැදීම
සඳහා සිංගප්පූරුවේ ප්‍රධාන ආයතනයකට බාරදී තිබෙනවා. ත්‍රිකුණාමලයේ කර්මාන්ත දියුණු කිරීම, කෘෂි කර්මාන්තය දියුණු කිරීම, ත්‍රිකුණාමලය නගර සංවර්ධන පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. සිංගප්පූරු සමාගම මූලික වශයෙන් කරන වැඩසටහන් පිළිබඳව අප අධ්‍යයනය කළා.
මේ ප්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් සේවා දියුණුව පිළිබඳව අපේ අවධානය යොමුවී තිබෙනවා. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය පිළිබඳවද අප අවධානය යොමු කරනවා. හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා. එවිට මත්තල සිට මේ ප්‍රදේශයට කඩිනමින් පැමිණීමට හැකියාව ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. වර්තමානයේදීත් පැය දෙකහමාරක්, තුනක් ඇතුළත එහි යාමට හැකියාව තිබෙනවා.
මේ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය පිළිබඳව ද අප අවධානය යොමු කරනවා. විශාල අධිවේගී මාර්ග නොව දැනට තිබෙන මාර්ග දියුණු කිරීම අපේ අරමුණයි.
ප්‍රදේශයේ ඉඩම් ප්‍රයෝජනවත් අයුරින් භාවිත කළ යුතුයි. වනාන්තර ඇතුළු පරිසරය ආරක්‍ෂා කරගත යුතුයි. අපගේ ස්වභාවික සම්පත් සංරක්‍ෂණය කොට ඒ සඳහා සංචාරක ආකර්ශනය දිනාගැනීමට හැකියාව තිබෙනවා. වන සංරක්‍ෂණ කටයුතු ඉතා කඩිනමින් කළ යුතුව තිබෙනවා.
එමෙන්ම මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වී තිබෙන පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කිරීම, කුකුළු කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය, වීවගාව දියුණු කිරීම, ගබඩා පහසුකම් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
මේ ප්‍රදේශයේ නිෂ්පාදන වැඩිකර ගබඩා පහසුකම් ඇති කරනවා නම් කොළඹ ආහාර මිලත් අඩු වෙනවා. ඒ වෙනුවෙන් රජය ආධාර ලබා දීමට සූදානම්. ධීවර අපනයනය පිළිබඳවත් අපේ අවධානය යොමු වී තිබෙනවා. වානිජ ක්‍රමවේද අනුව ධීවර කර්මාන්ත දියුණු කරන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙහි විශාල ලෙස ඉඩම්
තිබෙනවා.
පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය අප ආරක්‍ෂා කළ යුතුයි. ඔවුන්ටත් එම ඉඩම් දියුණුව සඳහා යෙදවීමට හැකියාව තිබෙනවා. අනෙක් අතට හොරෙන් අල්ලාගත් ඉඩම් තිබේනම් ඒවායේ අයිතිය රජය විසින් ලබාගත යුතුයි. එලෙස අත්පත් කරගත් ඉඩම් රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතුයි. මුහුදුකරයේ පමණක් නොව අභ්‍යන්තර වැව් ආශ්‍රිතව ද සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. කුඩා වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. ගංගා, ගල්ඔය, කුඹුක්කන් ඔය, යාන් ඔය දක්වා ඇති ප්‍රදේශවල සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට හැකියාව තිබෙනවා.
ගල්ඔය වනෝද්‍යානය, වස්ගමුව, කුමන ආදී ජාතික සම්පත් රාශියක් මේ ප්‍රදේශය සතුයි. ඉතින් මේ ප්‍රදේශයට නැත්තේ මොනවාද? මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන ඉදිරියට යා යුතුයි. ඒ සමග ප්‍රදේශවල කෙටි කාලීන ජීවනෝපාය මාර්ග ඇති කරන වැඩසටහන් ස්ථාපිත කරනවා. පුහුණු මධ්‍යස්ථාන ද ඇති කළ යුතුයි.
මේ සියලූ අංශ පිළිබඳව අවධානය යොමු කර, දිස්ත්‍රික්ක, නගර වශයෙන් දියුණුවට පත් වන්නේ කෙසේදැයි බලමු. ඒ වගකීම අප ඔබට බාර දෙනවා.ඊළඟ දශක දෙකේ මුළු බෙංගාල බොක්කේම ආර්ථික දියුණුවක් ඇති වෙනවා. ඒ දියුණුවට අප එකතු විය යුතුයි. දශක දෙකක් බලාගෙන ඉන්නේ කෙසේදැයි සමහරුන් අසනවා. අපි දැන්මම පටන් ගනිමු. කළ හැකිදේ කරමු.
දීර්ඝ කාලීනව සැලසුම් හැදීමේ වරදක් නැහැ. යුද්ධය අවසන්වූ පසුව මේ ප්‍රදේශයේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවා විශාල දියුණුවක් කරගෙන යනවා. අප අද එක්වී සාකච්ඡා කළේත් ඒ වැඩකටයුත්ත පිළිබඳවයි. සංවර්ධන සැලසුම් සදා අවසන් වූ පසුව සියලූම නිලධාරීන් එක්ව කොළඹත් සම්මන්ත්‍රණයක් පවත්වමු. ඒ අයුරින් වැඩකටයුතු ඉදිරියට ගෙනයමු. සති තුන හතරක් ඇතුළත අපට සැලසුම් දෙන්න. එවිට අදාළ නිලධාරීන්, අමාත්‍යවරුන් කැදවා සාකච්ඡා කරමු.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් විශාල වැඩ කොටසක් අරඹා තිබෙනවා. ඒ දියුණුව නැගෙනහිරට පැමිණීමටත් නියමිතයි. මොණරාගල, හම්බන්තොට ප්‍රදේශවල දියුණුවටත් එක්වී දියුණුව ඉදිරියට ගෙනයමු. මේ සාකච්ඡාවට එක්වූ සැමට මගේ ස්තූතිය පුද කරනවා.