නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතා සුබසාධනයට යුද හමුදා නිලධාරින්

(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යුද හමුදා නිලධාරින් පත්කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ආපදාවලට ලක් වූ දිස්ත‍්‍රික්කයන්හි ක‍්‍රියාත්මක කළ පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සහ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපතිතුමා විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

මේ වන විට දැඩි නියඟයකට මුහුණදී සිටින ප‍්‍රදේශවල ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

වියළි කාලගුණික තත්ත්වයත් සමග එම ප‍්‍රදේශවල ජනතාව දෛනික ජීවිතයේ ගැටලු රැසකට මුහුණ දී තිබෙන අතර එම ගැටලු පිළිබඳ සොයා බලමින් ඔවුන්ට සහන සැලසීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පැවසීය.

එම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ප‍්‍රතිපාදන අදාළ ආයතන වෙත යොමු කර තිබෙන අතර, එම කටයුතුවල ප‍්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ඔවුන් වෙනුවෙන් වියළි ආහාර සලාකයක් ලබාදීමට තමා තීරණය කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

ඉහළ ප‍්‍රමිතියකින් යුතුව ආහාර ද්‍රව්‍ය එම ජනතාව අතට පත්කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා එම කටයුතු අධීක්ෂණය සඳහා අධීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මේ අතර පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විකල්ප ඉඩම් හඳුනාගැනීම සහ ඒවා නිදහස් කර ගැනීමේ කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අදාළ ඉඩම් හඳුනාගැනීම් මෙම මස 15 දිනට පෙර නිම කළ යුතු බවටත්, ඒ පිළිබඳ ගැටලු පවතින්නේ නම් මෙම බදාදා වන විට ඒවා ලිඛිතව තමා වෙත ලැබීමට සලස්වන ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉඩම් හඳුනාගැනීමෙන් අනතුරුව මෙම මාසය නිමවීමට පෙර එම ඉඩම් ප‍්‍රතිලාභීන් අතට පත්කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අනුර ප‍්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාෆා, මංගල සමරවීර යන අමාත්‍යවරුන් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ දිස්ත‍්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *