වියළි කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සහන

(කොළඹ, ලංකාපුවත්) – දැනට දිවයිනට බලපා ඇති දැඩි නියඟයේ බලපෑම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය පොදු වැඩ සඳහා යොදවා ගැනීමේ පදනම මත, රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර සලාකයක් 2017 අගෝස්තු මස සිට මාසිකව එම පවුල් වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඊයේ (01) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ , සම කැබිනම් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

එසේම සිදු වී ඇති වගා හානි සඳහා අදාළ රක්ෂණාවරණයන් යටතේ කඩිනමින් වන්දි ලබා දීමටත්, පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලැබී ඇත.

මෙම වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 500,000ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, එමඟින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පෙර වර්ෂවල නියං ආපදා තත්ත්වයන්හිදී කටයුතු කළ පරිදි මෙම බලපෑමට ලක් වූ පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *