සයිබර් ආරක්‍ෂකයින් පුහුණු කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ඉතා වේගයෙන් පුළුල් වෙමින් පවතින තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ  ක්ෂේත්‍රයට අවශ්‍යය සයිබර් ආරක්‍ෂයින් පුහුණු කිරීමට පියවර ගැණේ.

පරිගණක ආරක්‍ෂාව සම්බන්ධයෙන් මානව සම්පත සවිබල ගැන්වීමට කටයුතු කරන ප්‍රකට ආයතනයක් වන  අයිසාකා (ISACA) ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දැනට නිරතව සිටින්නන්ට  සහ විශ්වවිද්‍යාල  සිසුන්ට මෙම පුහුණු පාඨමාලා අවස්ථාවන් ලබා දෙන බව නියෝජිතායතනය  පවසයි.

තොරතුරු පද්ධති විගණන පාඨමාලාව(CERTIFIED INFORMATION SYSTEMS AUDITOR) තොරතුරු ආරක්‍ෂණ කළමණාකරන පාඨමාලාව(CERTIFIED INFORMATION SECURITY MANAGER)  සහ පරිගණක ආරක්‍ෂණ මුලධර්ම(CYBER SECURITY NEXUS FUNDAMENTALS) යන පාඨමාලා මෙයට අයත්වේ.

මේ යටතේ මෙම වසර අවසාන වන විට වෘත්තීය නිපුණතාවයෙන් හෙබි සයිබර් ආරක්‍ෂකයින් දහසක පමණ පිරිසක් ක්ෂේත්‍රයට අවතීර්ණ කිරීමට හැකිවෙතැයි නියෝජිතායතනය අපේක්‍ෂා කරයි.

ලෝකයේ සයිබර් ආරක්‍ෂාව තර්ජනයට ලක්වෙමින් පවතින අවධියක ඊට පිලියම් යෙදිය හැකි වෘත්තීය මට්ටමේ ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාවටද සිටීම ඉතා වැදගත්  බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සචින්ද්‍ර සමරරත්න  මහතා පැවසීය.

මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට ජාත්‍යන්තර වශයෙන් ඉහල පිලිගැනීමක් සහිත සහතික පතක් ලබා ගැනීමට හැකි විභාග වලට පෙනී සිටීමේ හැකියාවක් ලැබේ.

වසර 2020 පමණ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ  ක්ෂේත්‍රයට සයිබර් ආරක්‍ෂකයින් දොළොස් දහසක පමණ පිරිසක්  අවශ්‍යය වෙතැයි ද මේ වන විට ගණන් බලා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *