(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි සහනාධාර ලාභීන් තේරීම සඳහා පවත්වන ලද නව සමීක්ෂණය අනුව කිසිම සමෘද්ධිලාභියකුගේ ආධාර මුදල් කැපී යාමක් සිදු නොවන බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමෙති එස්.බී.දිසානායක මහතා පවසයි.
ඇමැතිවරයා එසේ සඳහන් කළේ ඊයේ (03) බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
සමෘද්ධිලාභීන් පිළිබඳ නව සමීක්ෂණයට අනුව සහනාධාර ලාභීන්ගේ සමෘද්ධි දීමනා කැපී ඇති බවට එල්ලවෙන චෝදනාවට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැති අතර එහිදී ඇමැතිවරයා සඳහන් කළේ කිසිවෙකුගේ සමෘද්ධි සහනාධාර අහිමි වී ඇත්නම් නැවත අභියාචනයක් කළ හැකි බවයි.
ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී මෙසේද සඳහන් කළේය.
“1995 වර්ෂයේ ආරම්භ කල සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙල තුලින් මේ වන විට පවුල් ලක්ෂ 14 ක ආසන්න ප්‍රමාණයක් ප්රතිලාභ ලබන අතර, ඒ සදහා රජය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 43,950 ක මුදලක් වැය කරනු ලබනවා.
මෙතෙක් පැවති සමෘද්ධි සහනාධාර නාම ලේඛණය යාවත්කාලීන කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණ ක්‍රියාදාමයක් අප ආරම්භ කළා. මෙම සමීක්ෂණය මඟින් ආවරණය කරන ලද මුළු පවුල් සංඛ්‍යාව, 2,268,785 ක් .
මෙලෙස ලබාගන්නා ලද සමීක්ෂණ දත්ත ඉතා නිවැරදි ලෙස පරිගණකගත කිරීමෙන් අනතුරුව තොරාගැනීමේ නිර්ණායක හඳුනාගෙන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මඟින් සකසන ලද පරිගණක මෘදුකාංග ඇසුරින් ප්‍රමුඛතා කරණය මත සියළුම ඉල්ලුම්කරුවන් ලයිස්තුගත කලා.
අධ්‍යාපනය, පවුලේ සෞඛ්‍ය තත්වය, ආර්ථික මට්ටම්, වත්කම්, නිවාසවල ස්වභාවය, සහ ඔවුනගේ පවුල්වල සෞභාග්‍ය ආදී නිර්ණායක ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර, ඊට හිමි ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තුලින් ඉතාමත් විනිවිදභාවයකින් යුතුව, මෙකී ප්‍රමුඛතා ලේඛණ මේවන විට පිළියෙල කර තිබෙනවා. ඉදිරියේදී මෙම නාම ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිළධාරී කාර්යාල, සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි නිළධාරී කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
එම පවුල් ලබා ඇති ලකුණු අනුව, ඔවුනට ලැබෙන සහනාධාර ප්‍රමාණය නිර්ණය වන අතර, සහනාධාර නොලැබෙන පුද්ගලයන්ද මෙමඟින් හඳුනාගත හැක. මේ තේරීම ගැන සෑහීමකට පත් නොවන්නේ නම් අදාල ප්‍රාදේශීය ලේකම් වෙත සති 02 ක් ඇතුලත අභියාචනාවක් ඉදිරිපත් කල හැකියි .
එම සියළුම අභියාචනා ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී සහ සමාජ සේවා නිළධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් අදාල අභියාචනාකරු ඉදිරියේ සමීක්ෂණය කරන ලද, ඔහුගේ සමීක්ෂණ පත්‍රිකාව නැවත පරීක්ෂා කර බලනවා.
එහිදී සමීක්ෂණ පත්‍රිකාව පිරවීමේදී හෝ තේරීම් ක්‍රියාවලියේදී යම් වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කෙරෙනවා . සියළු අභියාචනා අවසන් කර අභියාචනා තේරීම් නිමවනතුරු දැනට සහනාධාර ලබන අයගේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.
හුදෙක්ම මෙකී සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙල යාවත්කාලීන කිරීමේ මූලික අරමුණ වුයේ මෙහි කලින් සඳහන් කර ඇති පරිදි, රටේ සමස්ථ දුගී ජනතාවට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණ පෙරදැරිකර ගෙනයි. ඒ සඳහා ඉතා විමසිල්ලෙන් සහ බුද්ධිමත් ලෙස කටයුතු කරන ලෙස සමස්ථ රටවාසීන් වෙත කාරුණිකව ඉල්ලා සිටිනවා “