‘ආවා’ කල්ලිය අල්ලන මෙහෙයුම් පුළුල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරේ තැන් තැන්වල යතුරුපැදිවලින් සැරි සරමින් විවිධ පුද්ගලයන්ට පහරදෙමින්, හිරිහැර කරන සහ දේපළ කොල්ලකෑම් කරන ‘ආවා’ කල්ලිය සොයා පොලිසිය සහ පොලිස් බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ අතර මෙම කල්ලියේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු වූ රොක් වික්ටර් සහ වික්ටර් නිෂා යන දෙදෙනා පෙරේදා යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහාතගේ උපදෙස් මත සිදු කෙරුණු මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

පසුගිය දා පොලිසියේ දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කළ සිද්ධියට සෘජුවම සම්බන්ධ බව කියන මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අරූල් ශිලාන් පැට්ට්‍රික් දිනේෂ් නැමැති වයස අවුරුදු 18ක පුද්ගලයෙකි.

අනෙක් සැකකරු මෙම කල්ලියේ නායකයකු වශයෙන් කටයුතු කරන වික්ටර් නිෂාන් යෝගරාසා හෙවත් සජිත් මුත්තු වන වයස අවුරුදු 17ක පමණ වන තරුණයෙකි. මෙම කල්ලිය උතුරේ ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් සහ විවිධ පුද්ගලයන්ගෙන් කප්පන් ඉල්ලන බවද ඔවුන්ට කප්පම් දෙන අය මේ පිළිබඳව තොරතුරු හෙළි නොකරන බවත් බුද්ධි අංශ හෙළි කරගෙන තිබේ.

බුද්ධි අංශ මේ වන විට ආවා කල්ලිය සම්බන්ධයෙන් සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව මීට පෙර වසර හතරකට පමණ පෙර පිහිටුවාගෙන ඇති ආවා කල්ලියේ නායකයා වෙන්නේ පුනරුත්ථාපනය කර ඇති කොටි සාමාජිකයෙකි. මෙම කල්ලියේ නායකයා වූ සෙල්ලරාසා රාමචන්ද්‍රන් නැමැති මෙම පුද්ගලයා විදේශගත වී ඇති බව පැවසේ. අනතුරුව මෙම කල්ලියේ නායකයා බවට පත්වී ඇති තවත් පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයෙක් මේ වන විට මීට මාස ගණනාවකට පෙර පහරදීමේ සිද්ධියකට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු තවමත් බන්ධනාගාරගත වී සිටින බව පැවසේ.

මේ වන විට මෙම කල්ලියේ සිටින්නේ සාමාජිකයන් විසි දෙනෙකු පමණ වන බවද බුද්ධි අංශ මඟින් හෙළිකරගෙන ඇති අතර මොවුන් සියලු දෙනාම 18-20 අතර වයස් ප්‍රමාණවල අය බවද හෙළි කරගෙන ඇත.

තවද මෙම කල්ලිය ත්‍රස්තවාදී කල්ලියක් වශයෙන් නොව මැර කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන බවද හෙළිකරගෙන ඇති අතර මොවුන්ට මහා පරිමාණයෙන් මුදල් හෝ වත්කම් නොමැති වුවත් මොවුන් මේ වන විට උතුරේ කප්පම් ගැනීම දිගින් දිගටම කරගෙන යන බවත් එසේ එකතු කරගන්නා මුදල ඔවුන්ගේ විය හියදම් සඳහා යොදා ගන්නා බවටත් තොරතුරු අනාවරණය වී ඇත. ආවා කල්ලිය මේ වන විට සිදු කර ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගණන හතරක් පමණ වන බවත් හෙළි කරගෙන ඇත.

පසුගිය දා කෝපායි ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පිහිවලින් කපා බරපතළ තුවාල සිදු කර ඇත්තේ ආවා කල්ලියේ සාමාජිකයන් බව එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පාපොච්චාරණය කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. පහරදීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් දෙදෙනා ඊයේ යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඒ අනුව මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කල්ලිය කළ බවට සැකකරන ආකාරයට පෙරේදා රාත්‍රියේ ද යාපනය ප්‍රදේශයේ දී තවත් දෙදෙනෙකු කපා තුවාල කර ඇත. මෙම ආවා කල්ලිය පිටුපස යම්කිසි බලගතු හස්තයක් ඇතැයි සැලකෙන අතර මේ පිරිසගේ යම් අරමුණක් මත මෙම පාතාල කල්ලිය ස්ථාපිත කරන්නට ඇතැයි ද සැලකේ. කෙසේ වෙතත් මේ අපරාධ පාතාල කල්ලියට තවදුරටත් මෙවැනි ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු කිරීමට නොහැකිවන පරිදි පොලිස් බුද්ධි අංශ සමඟ පොලිසිය මෙහෙයුම් සිදු කරගෙන යනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *