හොඳ අධ්‍යාපනයක් වෙනුවෙන් ගුරුවරුන්ට සෑම පහසුකමක්ම දෙන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ගුරුවරුන්ට යහපත් මානසිකත්වයකින් යුතුව දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා රජයක් ලෙස සලසා දිය යුතු සියලු පහසුකම් නොඅඩුව සම්පූර්ණ කර දෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද (04) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

දරුවන්ට අධ්‍යාපනය ලබාදී ඔවුන් දැනුමෙන් පෝෂණය කිරීමට විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් සිදුකරන කැපවීම කිසිවිටෙක වැටුපට සීමාවී නැති බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබූහ.

සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

විද්‍යාලයේ සෞන්දර්යය අංශයෙන් සමස්ත ලංකා ජයග‍්‍රහණ හිමිකරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිදෙනෙකුට ත්‍යාග ප‍්‍රදානය කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

විදුහල්පති ඩී. රණසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අනුරාධපුර නිවන්තකචේතිය විද්‍යාලයේ දරුවන්ගේ ප‍්‍රයෝජනය සඳහා බස් රථයක් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මීට පෙර අනුරාධපුරයේ පැවති උත්සවයක් සඳහා සහභාගී වූ අවස්ථාවක නිවන්තකචේතිය විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම බස්රථය විද්‍යාලය වෙත ලබාදීම සිදු විය.

ආසන 28 කින් යුතු මෙම බස් රථයේ යතුර, ජනාධිපතිතුමා වෙතින් එම ඉල්ලීම සිදුකල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.ඩී.ඩී. සත්සරණී සෙනෙවිරත්න ශිෂ්‍යාව වෙත ජනාධිපතිතුමා අතින් භාරදෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දරුවන්ට ලෝකය ජයගැනීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් රජය උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *