(කොළඹ, ලංකාපුවත්) – ඵලදායි ශක්තිමත් ආයෝජන තුළින් රටේ ඉදිරි සංවර්ධනය ළගාකර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවැරදි මූල්‍ය කළමනාකරණය ඔස්සේ ඉදිරි පරම්පරාව ණය බරින් මුදා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
අඹේවෙල, කිරි කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(07) සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසී ය.
නවීකරණය කෙරුණු කිරි පිටි හා බටර් යන්ත්රාගාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි. ඒ සඳහා වැය කෙරුණු මුදල යුරෝ මිලියන විසිහයකි. නවීකරණය කෙරුණු යන්ත්රාගාර මගින් දිනකට කිරි ලීටර් ලක්ෂ හතරක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. මිට පෙර දෛනිකව නිෂ්පාදනය කිරීමට හැකිවුණේ කිරි ලීටර එක් ලක්ෂ විසිදහසක් පමණි.
“ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ලඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළෙඳ කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්ත ශාලා 200 ක් රට පුරා ඉදිකිරීමට ප්‍රේමදාස ජනාධිපතිතුමාට අප සහාය ලබාදුන්නා. එකල කර්මාන්ත ඇමති ලෙස තවත් කර්මාන්ත ශාලා 150 ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.
ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පලපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට
ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා.
ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙලේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශ්රිත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමති රැකියාවක් ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා.
එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වන විට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.