ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩුවේ විරෝධතා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ධීවරයින් ධීවර කටයුතුවලින් වැලකී විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අද(09) දිනයේ සිට තමිල්නාඩු රාමනාදන්පුරම් ධීවරයින් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

ඊයේ (08) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් පැමිණි යාත්‍රා 12ක්ද නාවික හමුදාව බාරයට ගෙන තිබුණි.

මේ සිද්ධිය මුල් කර ගනිමින් තමිල්නාඩු ධීවරයින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර දිගින් දිගටම සිදුවන මෙවැනි අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තමන්ට සිය ජීවිකාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එම ධීවරයින් පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 64 දෙනා සහ ඉන්දීය ධීවර යාත්‍රා 125 නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *