මැක්‍රෝන් සිය බිරිඳට ‘ජනාධිපති ආර්යා’ නිල තත්වය නොදෙන ළකුණු

(කොළඹ, ලංකාපුවත්) – සිය භාර්යාව බ්‍රිෂීට් වෙනුවෙන් ජනාධිපති ආර්යාවගේ භූමිකාවට නිල තත්ත්වයක් ලබා දීම සඳහා පැවති සැලසුම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් ඉවත දමනු ලැබීමට සූදානම් වන බව වාර්තා පවසයි.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ දී මැක්‍රෝන් කියා සිටියේ සිය බිරිඳ සඳහා සැබෑ නිල පදවියක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවය.
නමුත් එම සැලසුමට එරෙහිව අන්තර්ජාලයේ දියත් කරන ලද පෙත්සමකට දෙලක්ෂ අනූ දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇත.

බ්‍රිෂීට් මැක්‍රෝන්ගේ තනතුර ඉදිරි දිනවල දී පැහැදිලි කෙරෙනු ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රංශ ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු නොවනු ඇත.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් එම්මානුවෙල් මැක්‍රෝන් එවක කියා සිටියේ ජනාධිපති ආර්යාවගේ භූමිකාව කුමක්දැයි යන්න ‘විග්‍රහ කිරීමට’ තමන්ට අවශ්‍ය බවය.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරය දරන්නාගේ විවාහක සහකරු හෝ සහකාරියට නිල තත්ත්වයක් ලබා දී නොමැත.

එනමුත් ජනාධිපති ධුරය දරන්නාගේ සහකරු හෝ සහකාරියට ප්‍රංශ ජනාධිපති නිල නිවස වන ‘ඒලීසේ’ මාලිගයේ කාර්යාලයක්, සේවය සඳහා එක් අයෙකු හෝ දෙදෙනෙකු සහ ආරක්ෂක භටයන් ලබා දෙනු ලබයි.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ගතානුගතිකවාදී ප්‍රතිවාදියා වූ ෆ්‍රන්ස්වා ෆියෝන්ගේ බිරිඳ වෙත ලබා දුන් දීමනා මතභේදයට තුඩු දුන් අතර ඒ සම්බන්ධයෙන් එවක විමර්ශනයක් දියත් කෙරිණි.

එවන් පසුබිමක ප්‍රංශ දේශපාලනයේ පවතින ඥාති සංග්‍රහය සම්පුර්ණයෙන් අතුගා දැමීම මැක්‍රෝන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම විය.

ෆ්‍රන්ස්වා ෆියෝන්ගේ බිරිඳ හා සම්බන්ධ අපචාරය මුල් කර ගනිමින් එවක විශාල ජන විරෝධයක් ඇති වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මැක්‍රෝන් කියා සිටියේ තමන් බලයට පත් වූ විට ඥාතීන්ට තනතුරු ලබා දීම දේශපාලනඥයන්ට තහනම් කරන බවය.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ජනප්‍රියත්වය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව ඇතැම් සමීක්ෂණ පෙන්නුම් කරන අතර ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීම සඳහා ඔහු සිය භාර්යාව යොදා ගැනීමේ උත්සාහයක නිරත වනවා විය හැකි බව විවේචකයෝ පවසති.

සෙසු විවේචකයන් කියා සිටින්නේ ජනාධිපති මැක්‍රෝන් ඇමරිකානු මෝස්තරය අනුකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *