හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කිරීම ඉතිහාස ගතවෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජයක් ලෙස රාජ්‍ය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම රජයේ අරමුණ බවත් සුදු අලියෙක් වූ හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කිරීම ඉතිහාස ගත වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හම්නතොට වරාය ඉදිකිරීමට ලබාගත් ණය සම්බන්ධයෙන් විමසීමක් කරමින් අද (09) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“දැන් කුණු කන්දෙන් ණය කන්දට ඇවිත් තිබෙනවා.කෙසේ හෝ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවස්ථා පහකදී ණය ලබාගෙන,එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1252ක් වෙනවා. දැන ණය ගෙවනකොට පොළිය ගෙවන්න තිබෙනවා.අපි සම්පූර්ණයෙන් ම ඩොලර් මිලියන 1262ක් ණය අරන් තිබෙනවා. දැනට අවස්ථා තුනක ණය ගෙවන්න තිබෙනවා. දැනට ගෙවා ඇති සම්පූර්ණ ණය වාරික හා පොළී මුදල්වල එකතුව රුපියල් මිලියන 40,813ක්.මේ වන විට ලබාඇති පාඩුව රුපියල් මිලියන 9814ක් වෙනවා. සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 7119ක් පමණයි.

රාජපක්ෂ රෙජීමය මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනින් ණය අරගත්තා. නැව් නැති වරාවල් හැදුවා. දැන් ඒ පව් ගෙවන්න වී තිබෙන්නේ අප ඇතුළු සමස්ත රටේ ජනතාවටයි.ඉදිරියේ දී මේ රටේ උපදින දරුවනුත් ණය කරුවන් කර තිබුණත් ඒ ප්‍රශ්න දැන් විසඳාගෙන යනවා.අපේ කාලයේ දී මේ ණය සියල්ල ගෙවා අවසන් කරනවා.ජනතාවට වග කියන රජයක් වශයෙන් මේ අධික ණය උගුලෙන් ගැළවීමටත්, හම්බන්තොට වරායෙන් නිසි ප්‍රයෝජන ගැනීමටත්, වරාය සංවර්ධනය කොට රටේ ආර්ථික වර්ධනයට හම්බන්තොට වරාය ඵලදායි ලෙස දායක කරගත හැකි ආකාරය ගැන සාකච්ඡා කළා.

මේ සම්බන්ධව චීන රජය සමඟ සාකච්ඡා කළා. හවුල්කාරී සමාගමක් හා සහන ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. කිසිදු සංශෝධනයක් කර නෑ. ගිවිසුම් කොන්දෙසි ගැන සාකච්ඡා කරන්න ඉඩ දී තිබෙනවා.මේ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් සඳහා ඉඩ ලබාදී තිබුණා. විවාදය තිබුණා නම් මුදල් නාස්තිය ගැනත් ගිවිසුමෙන් රටට ලැබෙන සහන ගැනත් හෙළිදරව් වෙනවා.විපක්ෂයේ සමහර කණ්ඩායම්වලට අවශ්‍ය වුණේ,විවාදය කඩාකප්පල් කිරීමටයි.වටිනා අවස්ථාව මඟ හැරුණා. පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවාට විපක්ෂයේ සමහර කණ්ඩායම් බිය වී තිබෙන බවයි පෙනෙන්නේ.

රජයක් ලෙස රාජ්‍ය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම රජයේ අරමුණයි.රජයේ අරමුණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් ලබාදීමයි.රටේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරන අයට ජනතාව ඉදිරියේ දී නිසි පිළිතුරු ලබාදෙවි” යැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *