විදේශ ආයෝජනවලදී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි – ජනපති

‍(කොළඹ, ලංකාපුවත්) – විදේශ ආයෝජනවල දී රටේ ස්වාධීනත්වයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට වසර හැටක් පිරීම නිමිත්තෙන් පැවති විද්වත් හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතා පසුගිය වසර දෙක හමාර තුළ වඩාත් ශක්තිමත්ව ගොඩනැගුණු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. මිත්‍රශීලී හා සුහදශීලී විදේශ ප්‍රතිපත්තියක් තුළින් සියලු දෙනාගේ සහාය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට වත්මන් රජයට හැකිවී තිබේ. එමෙන්ම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට බලපෑ බොහෝ අහිතකර තත්ත්වයන් මඟහරවා ගැනීමට ද පසුගිය වසර දෙක හමාරක කාලය තුළ හැකිවූ බව ජනාධිපතිතුමා පැවසීය.

විදේශ වත්කම් ඉහළ නංවා ගැනීම මෙන්ම ණය බරින් නිදහස් වීමට රජය ගත් ක්‍රියාමාර්ග ද සාර්ථක වී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ(09) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කෙරුණු විද්වත් හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

චීන – ශ්‍රී ලංකා තානාපති සබදතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වන ලද තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එඩ්වින් ආරියදාස, නිහාල් රොද්‍රිගෝ, බර්නාඩ් ගුණතිලක යන මහත්වරුන් ද මෙම විද්වත් හමුව ඇමතීය. ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *