ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 15.7ක් බව සමීක්ෂණයකින් හෙලි වේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 15.7ක් බව ශ්‍රම බල සමීක්ෂණයෙන් හෙළිව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2017 වසරේ පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කොට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් වයස අවු. 15 හා ඊට වැඩි ජනගහනය වැඩ කරන වයසේ පසුවන ජනගහනය ලෙස සලකනු ලැබේ. 2017 වසරේපළමුවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වැඩ කරන වයසේ පසුවන ජනගහනය මිලියන 15.7 ක් ලෙස වාර්තා වේ. මෙය 2016 වසරේ පළමුවන කාර්තුව හා සසඳන කල 0.3% ක වැඩිවීමකි. මේ සඳහා ශුද්ධ සංක්‍රමනයන් හා අභ්‍යන්තර සංචලනයන් හේතු වී ඇත.

වැඩකරන වයසේ ජනගහනය අතුරින් සලකනු ලබන සමීක්ෂණ යොමු කාලය තුල රැකියා නියුතු හෝ රැකියා විරහිත මුළු ජනගහනය ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනයහෙවත්ශ්‍රමබලකාය වේ. 2017 වසරේපළමුවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 8.6 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් 62.7% ක් පුරුෂවන අතර 37.3% ක් ස්ත්‍රී වේ.

ශ්‍රම බලකායට අයත් වන පුද්ගලයින් සංඛ්‍යාව, වැඩකරන වයසේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රම බල සහභාගිත්ව අනුපාතය (LFPR) ලෙස හදුන්වනු ලබයි. 2017 වසරේ පළමුවන කාර්තුවට අදාල සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ශ්‍රමබල සහභාගිත්ව අනුපාතය 54.7% ක් වන අතර පුරුෂයින් හා ස්ත්‍රීන් සඳහා ශ්‍රම බල සහභාගිත්ව අනුපාත පිළිවෙළින් 75.1% හා 37.6% වේ.

පුද්ගලයෙකු අදාල සමීක්ෂණ යොමු කාලය තුල අවම වශයෙන් පැයක්වත් වැටුප් ලබන සේවකයෙකු, සේවායෝජකයෙකු, තමාගේ වැඩ කටයුතු කරන්නෙකු හෝ පවුලේ ආර්ථික කටයුතු වලට දායකවන්නෙකු ලෙස කිසියම් වැඩක නිරත වුයේ නම් එම පුද්ගලයා රැකියා නියුතු පුද්ගලයෙකු ලෙස හඳුන්වනු ලබයි. මෙම කාර්තුව සදහා ඇස්තමේන්තුගත රැකියා නියුක්තිකයින් ප්‍රමාණය මිලියන 8.2 ක් වේ. ඒ අතුරින් 45% ක් සේවා අංශයේ ද 28% ක් කර්මාන්ත අංශයේ ද 27% ක් කෘෂිකාර්මික අංශයේ ද රැකියා වල නිරත වී ඇත. මෙහිදී ඉහලම  සේවා නියුක්තියක්  සේවා  අංශයේ  දක්නට  ලැබෙන අතර, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එම රටාව දක්නට ලැබේ. මෙහිදී කෘෂිකාර්මික අංශයේ නියෝජනය අවම අගයක් ගනී. තවද 2017 වසරේ පළමුවන කාර්තුවේදී රැකියා නියුක්තිකයින්ගෙන් 68.1% ක් සතියකට පැය 40 කට වඩා වැඩ කර ඇති බව වාර්තා වී ඇත.

අදාල සමීක්ෂණ යොමු කාලය තුල රැකියාවක් නොමැති, සමීක්ෂණයට පෙර සති 4 ක කාලය තුල රැකියාවක් සොයමින් සිටි හා රැකියාවක් සෙවීමට කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්, ඉදිරි සති 2 තුල රැකියාවක් ලැබුණහොත් එය කිරීමට හැකියාව ඇති පුද්ගලයින් රැකියා විරහිත පුද්ගලයින් සේ සලකනු ලබයි. මුළු රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව, ශ්‍රමබලකායේ ප්‍රතිශතයක් ලෙස ගත්විට විරැකියා අනුපාතය ලෙස හදුන්වනු ලබයි. 2017 වසරේ පළමු වන කාර්තුවේදි ඇස්තමේන්තුගත රැකියා වියුක්ති අනුපාතය 4.1% ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *