ශ්‍රී ලංකන් මෙහෙයුම් සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක ගුවන් තොටුපළේ නීති විරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රී ලංකන් මෙහෙයුම් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

කටුනායක ගුවන් තොටුපළේ නීති විරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථකයි – 2017 අගෝස්තු මස 15 වැනිදා

නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින් විදේශ රටවල් වෙත සංචාරය කරවීම ගෝලීය වශයෙන් පැන නැගී ඇති අර්බුදකාරී ගැටළුවකි. මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිසි පියවරවල් ගෙන තිබුනත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා නීති විරෝධී සංචාර බොහොමයක් ලොව පුරා සිදුවෙමින් පවතී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වුවද වංචනික සහ අසම්පූර්ණ ලියවිලි මත නීති විරෝධීව සංචාරය කිරීමට තැත්කිරීම් බොහොමයක් වාර්තා වී ඇත.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් වංචාකාරී සහ වෙනස්කළ සංචාරක ලියකියවිලි මත පුද්ගලයන් නීති විරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ සාර්ථක ලෙස මෙහෙයුම් දියත් කර ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම භූමි කටයුතු (ground handling) මෙහෙයවන්නා වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශ සංචාර කරන්නන්ගේ වංචනික හෝ වෙනස්කළ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂාව, වීසා සහ පිවිසුම් පත් නිකුත් කිරීම සම්බන්ධව විශාල කාර්ය බාරයක් ඉටුකරනු ලබයි.

ගුවන් සමාගම සතුව විශේෂයෙන් පුහුණු කරන ලද ලියකියවිලි පරීක්ෂා කරන ආරක්ෂක කාර්ය මණ්ඩලයක් සිටින අතර මොවුන් විදේශ තානාපති කාර්යාල හරහා ව්‍යාජ සංචාරක ලියකියවිලි හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය මෙම අපරාධ කල්ලි හඳුනාගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ (BIA) බලධාරීන් වන ශ්‍රී ලංකා පොලීසිය සහ රේගු සහ ආගමන අංශ සමග එකතුව කටයුතු කරනු ලබයි. පසුගිය කාලයේ ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදා ගුවන් ගත වීමට තැත්කළ පුද්ගලයින් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී හසුකර ගැනීමට ගුවන් සමාගමට හැකිවිය.

නීති විරෝධී ලෙස සංචාරය කිරීම් ලොව පුරා ඇති උද්ගත වී ඇති විශාල ගැටළු සහගත තත්වයකි. ගුවන් මඟියෙකු ව්‍යාජ වීසා හෝ ව්‍යාජ ගුවන් බල පත්‍රයක් හරහා ගුවන් ගත වීමෙන් විදේශ රාජ්‍යයන් මගින් විශාල දඩයක් ගුවන් සේවා සඳහා පනවනු ලැබේ. මේ සඳහා ආගමන බලධාරීන් විසින් ගමනාන්තය කරා පැමිණෙන රටින් අවසර ලබා දුන්නේ ද යන්න නොසළකයි. මේ සඳහා එක් මඟියෙකු වෙනුවෙන් ගුවන් සමාගමට යුරෝ 5,500 (රු 900,000) මුදලක් යුරෝපීය රටවල් සඳහා ගෙවීමට සිදුවේ.

2016 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙවැනි නීති විරෝධී සංචාර සඳහා ගෙවීමට සිදුවන දඩ මුදල් වලින් පෙර වසරට වඩා 46% වාර්තාගතව අඩුකරගෙන ඇත. මේ අනුව ගුවන් සමාගම කිසිඳු ආකාරයේ නීති විරෝධී සංචාර සිදුනොවීමට වගබලා ගන්නා අතර ගෝලීය වශයෙන් සංවිධානගත ලෙස සිදුකරන නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමේ අසීරු කාර්යයේ නිරතුරුවම බැදී සිටියි. මෙසේ නීති විරෝධී ලෙස සංචාරය කරන්නන් ලෙස ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ජාතිකයන් යුරෝපය,මැද පෙරදිග,ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව උතුරු අමෙරිකාව යනාදි රටවල් සඳහා රැකියා සඳහා පිටත්වීමට මෙසේ වංචනික ලෙස කටයුතු කරනු ලබයි.

පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ව්‍යාජ ලියකියවිලි හෝ අන් අයගේ ලියකියවිලි මත නීති විරෝධී ලෙස සංචාරය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවනු ලබයි. ඇතැම් මගීන්ට මෙම සංචාරක ලියකියවිලි සම්බන්ධව පවතින අල්ප දැනුම සහ කල් ඉකුත් වීමේ දින පිළිබඳ අනවබෝධය වැනි කරුණු ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රියාපටිපාටියට පරිබාහිරව විදේශ සංචාරයේ යෙදීම ද මෙම නීති විරෝධී සංචාර සඳහා බලපෑ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සියලුම සංචාරකයන්ට තම වීසා තත්වය මෙන්ම සංචාරක ලියකියවිලි සංචාරක නියෝජිත සමග පරීක්ෂා කර හෝ සංචාරයට ප්‍රථම srilankan.com වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර ගමන් කරන මෙන් ඉල්ලා සිටියි.

ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන් සමාගම
www.srilankan.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *