ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති හෙට සිට තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ලබන 20 වැනි දින පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව හෙට (16) මධ්‍යම රාත්‍රී 12.00 සිට ලබන 20 දින විභාගය පවත්වා අවසන් වනතුරු, විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙය වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

පසුගිය 12 නිකුත් කරන ලද අංක 1927/49 අති විශේෂ ගැසට් නිවේදනයට ප්‍රකාරව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් වරදකරුවකු වන අතර කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කලහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුවට පහත දුරකතන අංකවලට පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් මූලස්ථානය : 0112 42 11 11
පොලිස් හදිසි ඇමතුම් අංකය : 119
ක්ෂණික ඇමතුම් අංකය (වි.දෙපා.) : 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව : 0112 78 42 08 / 0112 78 45 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *