ලොව විශාලතම ගුවන් යානාව මෙරටට ගොඩබසී

(කොළඹ, ලංකාපුවත්) – A-380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය පිළිබඳව පැවති දුර්මතයන් බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550 කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A-380 වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළේ පැවති උත්සවයේදීය.

මෙම ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වු ශ්‍රී ලාංකිකයෙකු වීමද තවත් එක් විශේෂත්වයකි.

වසර 30 කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහර පිරිස් විවිධ මත ප්‍රකාශ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සියලු මත බිඳ දමා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තියෙන බව ඔප්පු වී තිබෙන බව ද සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට ආරම්භ කර තිබෙන අතර ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙන බවත් මෙසේ පැමිණි මෙම එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බළධාරීන් කැමැත්ත පළ කර බවත් මේ තුළින් විශාල සංචාරකයින් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා. ගුවන් සේවය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ වී කටයුතු කිරීම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවෙනවා. අපි කටුනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ගුවන් තොටුපළද ප්‍රචලිත ගුවන් තොටුපළක් ලෙසපවත්වාගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු ආයෝජකයින්ගේ සහය ඇතුව මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පසුගිය කැබිනට් මණ්ඩල සැසි වාරයේදී අනුමැතිය මා ලබා ගත්තා” යැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු ගුවන් තොටුපළ නිළධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජේෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමණාකරු චන්දන ද සිල්වා මහතා ඇතුළු එමිරේට්ස් සමාගමේ නිළධාරීන් රැසක් ද සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *