වැරදි කරලා නම් රජයේ ඇමතිවරුන්ටවත් සමාවක් නෑ – දුමින්ද දිසානායක

(කොළඹ, ලංකාපුවත්) – රජයේ අමාත්‍යවරුන් වැරදි කර ඇත්නම්, වංචා-දූෂණවලට සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ගාල්ලේ අක්මීමන පැවති රැස්වීමක් අමතමිනි.

මෙතෙක් පැවති ආණ්ඩු වැරදි කළ ඇමතිවරුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළද එය වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇති බව ඇමතිවරයා කියා සිටියේ. එය ඉදිරියේදී පත්වන ආණ්ඩු සඳහා පූර්වාදර්ශයක් සපයනු ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සමහර පරාජිත දේශපාලන කණ්ඩායම් රට අස්ථාවර කිරීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා පාගමන් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙන්වා දුන් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ එවැනි විරෝධතා හරහා ආණ්ඩුව වැට්ටවීමට හෝ රට අස්ථාවර කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

වත්මන් රජය යටතේ සියලු විමර්ශන ස්වාධීනව සිදුවන බවත් චෝදනා එල්ල වූ ඇමතිවරු තනතුරුවලින් ඉවත් වී විමර්ශන සඳහා සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

එසේම මේ රටේ නායකත්වයට පත්විය යුත්තේ රාජපක්‍ෂවරුම පමණක් දැයි ප්‍රශ්ණ කර සිටි අමාත්‍යවරයා, වෙනත් අයෙකුට රටේ නායකත්වය දැරීමට අයිතියක් නොමැති දැයි ප්‍රශ්ණ කර සිටියේය.

2015 ජනවාරි 08වනදා පැවැති මැතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දුන් දුමින්ද දිසානායක මහතා, එම තීන්දුව තවමත් පිළිගත නොහැකි පාර්ශවයන් බොළද සිහිනවල සිටිමින් ප්‍රකාශ කරන බවද පැවසීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *