ශිරන්ති රාජපක්ෂ CID යට

(කොළඹ, ලංකාපුවත්) – ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද(15) පැමිණියාය. ඒ සිරිලිය සවිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස ඇය වෙත කර තිබූ දැනුම් දීමකට අනුවය.

සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මඟින් ලබා දී තිබූ ජීප් රථයක් සිය පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි රාජපක්‍ෂ මහත්මිය මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

WPKA – 0642 දරණ මෙම ඩිපෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි විසි වනදා දක්වා සිරිලිය සවිය සංවිධානය සදහා ලබා දී තිබූ බව රතුකුරුස සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට පෙර දන්වා තිබුණි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් හෙළි වී තිබුණි.

රතු කුරුස සංවිධානය ලබා දුන් සුදු පැහැ ජීප් රථය පසු ව කළු පැහැ ගැන්වූ බව හෙළිව තිබේ.

මෙම සියලු කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත.

ඒ මහත්මිය පසුගිය විසිහත්වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුනි. එහෙත් එදින පැමිණීමට නොහැකි බව ඇය දන්වා තිබුණි. ඒ අනුව අද දින රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමට කටයුතු කළේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා යෝෂිත රාජපක්ෂ මහතා ද හෙට(16) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *