සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය තවත් රෝහල් 47කට

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල් සදහා මෑතකදී  හදුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය  (Hospital Health Information Management System) දිවයිනේ තවත් රෝහල් 47 කට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.

මෙම කළමණාකරන පද්ධතිය දිවයිනේ රෝහල් 15 කට පමණ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන්  හදුන්වා දී තිබුණි. එම රෝහල් එහිදී   ලබා තිබෙන ප්‍රගතිය මත මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා පවසයි.

මේ අනුව බස්නාහිර පළාතේ රෝහල් 11ක් දකුණුපළාතේ රෝහල් 05ක්, මධ්‍යම පළාතේ රෝහල් 06ක්, වයඹ පළාතේ රෝහල් 04ක් උතුරුමැද පළාතේ රෝහල් 03ක් ඌව පළාතේ රෝහල් 03ක් නැගෙනහිර පළාතේ රෝහල් 07ක්  සබරගමුව පළාතේ රෝහල් 03ත් සහ උතුරු පළාතේ රෝහල් 05ක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන පළාත් වලට අයත්  රෝහල් වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පසුගියදා  පවත්වන ලද ඩිජිටල් විශිෂ්ටතා ඇගයීම් සම්මාන උළෙලේදී (SLT Zero One Awards for Digital Excellence) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අම්පාර සහ දොම්පෙ දිස්ත්‍රික් මහ රෝහල් සම්මානයෙන් පිදුම් ලැබීය.

රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා  හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

මේ අනුව රෝහලේ  බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ  සෞඛ්‍යමය තොරතුරු නියම කරන ලද  ‍ඖෂධ වට්ටෝරු  ‍සෞඛ්‍ය වාර්ථා තොරතුරු ජීවදත්ත  ඇතුලු වැදගත් සියලු තොරතුරු වෛද්‍යවරයා විසින් මෙම පද්ධතියට ඇතුලත් කරනු ලබයි. මෙහිදී රෝගියා වෙත නියම  කෙරෙන ඖෂධ වට්ටෝරුද  මෙම පද්ධතිය ඔස්සේම ඖෂධ නිකුත් කරන ස්ථානය වෙත ලබා දීමද සිදු කරනු ලබයි.

එසේම මෙමගින් කඩදාසි භාවිතා කිරීමද අවම කිරීමට හැකිවන අතර හරිත පරිසරයක් සදහා ද මග සැලසෙනු ඇත.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Program ) යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *