විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’

(කොළඹ, ලංකාපුවත්) –  තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වූ ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තැබූ ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල සටහන් ක්‍රිකට් ලෝලීන් අතරෙහි කතා බහකට ලක් වෙමින් පවති.

ඔවුන්ගේ මෙම ෆේස්බුක් සටහන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවද සැලකේ.

එසේම විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය අනුෂ්කා ශර්මා පසුගිය 19වනදා දඹුල්ල අලියා හෝටලයේදී පැළ සිටුවීමේ වැඩසටහනකට ද සහභාගී විය.

මේ අතර පසුගියදා මාධ්‍ය අමතමින් කෝලි පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන සෑම අවස්ථාවකම සංචාරය කෙටි වීම සහ කාර්ය බහුල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞදර්යය නැරඹීමට නොහැකි වුවත් මෙවර සංචාරයේදී ඒ අවස්තාව හිමි වූ බව යි.

විශේෂයෙන්ම අවසාන ටෙස්ට් තරගය දින තුනකින් නිමාවීම හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම පිණිස තවත් කාලය ලැබුණු බවත් ඔහු පැවසීය.

මේ වතාවේත් තමන්ට සීගිරිය නැගීමට හෝ නිසි පරිදි දඹුල්ල නැරඹීමට නොහැකි වූ නමුත් ඉදිරි සංචාරයකදී යළිත් ඒ ප්‍රදේශ නැරඹීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිරි නරඹමින් විරාත් කෝලි ට්විටර් ජාලය ඔස්සේ ‘සෙල්ෆි’ ඇතුළු ඡායාරූප ද පළ කොට තිබේ.

35000 කට අධික පිරිසක් ඒ සෑම ඡායාරූපයකටම ‘like’ කර තිබෙන අතර, දහස් ගණනක පිරිසක් එම ඡායාරූප සිය මිතුරන් අතර ‘retweet’ කර ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *