‘ඉන්දීය සාගර සමුළුව – අගෝස්තු 31වනදා සිට කොළඹ දී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කෙරෙන ‘’ඉන්දීය සාගර සමුළුව – 2017’’ අගෝස්තු 31වනදා සහ සැප්තැම්බර් 01වනදා රටවල් 40 ක නියෝජිතයින් 300 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්වේ.

මෙම සමුළුවේ ආරම්භක සැසිය අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 වනදා පස්වරු 6.00 ට පැවැත්වෙන අතර සැප්තැම්බර් 01වන දා එහි අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

ඉන්දිය සාගර කලාපයේ ‘සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍යය’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ්, එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මීන් හා ශ්‍රී ලංකා විදේශ ඇමැති ජනාධිපති නීතීඥ තිලක් මාරපන නීතීය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, සී ෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන්, සිංගප්පූරු විදේශ ඇමැති ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්, බංගලාදේශයේ වාණිජ ඇමැති ටො‍ෆෙයිල් අහමඩ්, නේපාලයේ විදේශ ඇමැති ක්‍රිෂ්ණ බහදූර් මෙහෙරා, යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ද සහභාගි වීමට නියමිතය.

කොළඹ දී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල් රැසක් සහභාගිවන්නේ ශ්‍රී ලංකා රජයේ මිත්‍රශීලී ප්‍රතිපත්තීන් නිසාබව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අරලියගහ මන්දිරයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

‘ඉන්දීය පදනම’ සංවිධානය මගින් පවත්වනු ලබන මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය පූර්ණ අනුග්‍රහය දක්වන අතර උගතුන් බුද්ධිමතුන්ගෙන් සමන්විත දේශීය හා විදේශීය නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහභාගි වන බවද ඇමැතිවරයා කීය.

මෙම මාධ්‍ය හමුවට එක් වූ නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා පැවැසුවේ ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් ඉන්දීය සාගරය හරහා මත්දුව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීමට ගත හැකි පියවර පිළිබඳව මෙම සමුළුවේදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *