හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි

(කොළඹ, ලංකාපුවත්) – සැප්තැම්බර් මස 01වනදා සිට 02 වනදා දක්වා දිවයිනේ වැසි තත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමනිසා, දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි (මි.මි 150 ට වැඩි) ඇති විය හැකිය.වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත් වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථාන වලට තද වැසි (මි.මි. 100 ක පමණ) ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල සමහර ස්ථාන වලට තරමක තදවැසි (මි.මි. 75 ක පමණ) ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ඒ අනුව හෙට (01) දහවල් 12.11ට කොත්තුකච්චිය, මමුනුගම, ඇහැටුවැව, තලාව, මදටුගම, කිබිස්ස, පොලොන්නරුව, වාකනේරි සහ පාසිකුඩා යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *