ලාදුරු රෝහල වැඩිහිටි සත්කාර රෝහලක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බැවින් ලාදුරු රෝගීන්ට රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

මෙම රෝගය චර්ම රෝගයක් වන බැවින් රෝගය වැළදී පැය 48 කට ප්‍රථම බාහිර රෝගී අංශයෙන් ඖෂධ ලබාදීමෙන් රෝගය පැතිරයාම ද වළක්වා ගත හැකි බව ලාදුරු මර්දන ව්‍යාපාරය සදහන් කරනු ලැබේ.

2016 වසරේ දී ලාදුරු රෝගීන් 1954 ක් සොයාගත් අතර, 2017 වසරේ ගත වූ කාලය තුල රෝගීන් 974 ක් සොයාගෙන ඇත.

ලාදුරු මර්දන ව්‍යාපාරය මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

දැනට හැදල ලාදුරු රෝහලේ රෝගීන් 29 දෙනෙකු හා මඩකළපුව මාන්තිව් දූපතේ රෝගීන් 03 ක් නේවාසිකව ප්‍රතිකාර ලබති. මෙම රෝගීන් සුව වී ඇතත්, ඔවුන්ගේ ඥාතීන් රැගෙන නොයෑම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇත.

අක්කර 7.5 කින් යුත් හැදල ලාදුරු රෝහල වැඩිහිටි ප්‍රතිකාර රෝහලක් ලෙස ස්ථාපිත කිරීමට මෙහිදී තීරණය විය.

බෝනොවන රෝග හේතුවෙන් වැඩිහිටියන් රෝගී තත්ත්වයට පත්වීම ඉදිරියේ දී ඉහළ යා හැකිය. එම නිසා එවැනි රෝහලක් ස්ථාපිත කර තිබීම කාලෝචිත පියවරක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මඩකළපුව මාන්තිව් දූපත් රෝහල සෞඛ්‍ය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වැඩබලන ලේකම් ඡේ. ගුණතිලක මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පී.එස් කරුණාරත්න මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *