දරුවන් වෙනුවෙන් “සුරක්ෂා” රක්ෂණාවරණ ගිවිසුම අත්සන් තැබේ

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා රක්ෂණාවරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර ඒ සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමේ ඊයේ (07) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුම් ගත “ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව” විසින් 2017 ඔක්තෝම්බර් 01 දින සිට පැය 24 ම ආවරණය වන පරිදි සියලුම පාසල් දරුවන් සඳහා මෙම රක්ෂණාවරණය බලාත්මක වේ.

මෙම රක්ෂණ පහසුකම් සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය‍ සහ විශේෂ ප්‍රසාද දීමනා ලෙස අංශ තුනකින් සමන්විත වේ. සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් නේවාසික ප්‍රතිකාර සඳහා රු 200,000/-ක ප්‍රතිලාභ හා බාහිර ප්‍රතිකාර සඳහා තෝරාගත් රෝගවලට අදාළව ඖෂධ, වෛද්‍ය ගාස්තු හා පරීක්ෂණ සඳහා රු10,000/-ක ප්‍රතිලාභ වාර්ෂික ව හිමි වේ.

හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ, අනතුරකින් ශිෂ්‍යයෙකු මියයාමේ දී දෙමාපියන්ට අවමංගල්‍ය කටයුතු සදහා රු. 10,000/- ගෙවීමක් සහ අනතුරකින් මව/පියා මියයාමක දී රු 75,000/- ශිෂ්‍යයාට ගෙවීමක් ද සිසුන්ට සිදුවන අබලතාවක දී රු 100,000/- ක් දක්වා උපරිමයක ප්‍රතිලාභ ද ලැබේ. විශේෂ ප්‍රසාද දීමනා යටතේ පුද්ගලික රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තුවලින් 20% ක අඩු කිරීමක් හිමිවේ. එසේ ම පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ දී මෙන් ම රජයේ රෝහලකින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රු 1,000/-ක් බැගින් දින 30ක් දක්වා දීමනාවක් ලැබෙන අතර රෝහල්ගත වීමකින් තොර ව වුව ද ශල්‍යකර්ම සඳහා ප්‍රතිලාභ හිමිවේ.

රෝග, අනතුරු හා ආබාධ තත්ත්වවල දී සිසුන් ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම මගින් පාසල් පැමිණීම ඉහළ නැංවීම, වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම, ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමට සහාය වීම ද “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම මගින් අරමුණු කර තිබේ.

ඒ අනුව සියලු ම රජයේ පාසල්, ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත පාසල්, සහ ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

යහපාලන රජය විසින් ඉදිරිපත් කරන ලද 2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලියට ඇතුළත් වූ පාසල් දරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාවක් අනුව “දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවේ දී “සුරක්ෂා” රක්ෂණාවරණ ගිවිසුම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති හේමක අමරසූරිය මහතා විසින් අත්සන් කළහ.
අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *