වරායේ රුපියල් බිලියන 40ක පාඩුවක් ගැන අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරාය හම්බන්තොට වරායට එක් කිරීමෙන් රුපියල් බිලියන 40ක පාඩුවක් වරාය සංස්ථාවට දැරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

වරාය සංස්ථාවේ මුදල් හම්බන්තොට වරායට යොදවන්නේ නැතැයි මැතිවරණයේදී පොරොන්දු වූ අවස්ථාවේ නිහඩව සිටි අය අද වරාය විකුණන බවට කෑ ගසන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කොළඹ නැව් තටාකාංගනයේ පැවති උත්සවයකට ඊයේ (07)එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

කොළඹ නැව් තටාකාංගනය සිය නිෂ්පාදන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගැඹුරු මුහුදේ සන්නිවේදන රැහැන් එළීම සඳහා භාවිතා කරනු ලබන නවීන යාත්‍රාවක් නිපදවීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජපානයේ ප්‍රමුඛ පෙළේ නෞකා සමාගමක් වන කොකුසායි කේබල් නෞකා පුද්ගලික සමාගම වෙනුවෙන් මෙම නෞකාව නිෂ්පාදනය කෙරේ. මෙම නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ද සිදු කෙරුණි. යාත්‍රාවේ නිෂ්පාදන කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් එහි නැව් බඳ ගොඩනැගීම සුභ මොහොතින් ආරම්භ කිරීම සිදු කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

කොළඹ නැව් තටාකාංගනය මගින් නිෂ්පාදන කරන මෙම යාත්‍රාව ටොන් පන්දහසක ධාරිතාවකින් යුතුව රැහැන් පරිවහණය කිරීමේ හැකියාවකින් යුක්තය. දිගින් මීටර් 113ක් හා පළලින් මීටර් 21.5ක් වන මෙම නෞකාවේ ඉදිකිරීම් කටයුතු දෙදහස් දහනවය වර්ෂය වන විට නිම කිරීමට නියමිතය.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *