2020වන විට දුම්කොළ වගාව තහනම් කරනවා – සෞඛය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට දුමිවැටි භාවිතය 46% කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වන බවත් වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(11) අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

තවද I ශ්‍රේණියේ හෙද නිලධාරී (මහජන සෞඛ්‍ය) 121 කට ද, I ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) 476 කට ද, I ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) 291 කට ද වශයෙන් 888 කට ස්ථිර පත්වීම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබූ සීමාවන් ඉවත් කළ බවත් පිළිකා ඖෂධ සඳහා ආදේශක හඳුන්වා දුන් අතර, එම ඖෂධ මේ වන විට ඇමරිකාවේ ඖෂධ අධිකාරිය ද පිළිගෙන තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා අපේ රටේ ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම්වල බලපෑම්වලට යටත්ව කටයුතු කළ බවත් පැවසීය.

නිදහස් සෞඛ්‍ය සේවාව ලෙස හඳුන්වමින් මෙතෙක් කල් බහුජාතික සමාගම්වලට මුදල් ලබා දුන් නමුත් යහපාලන රජය රජයේ මුදල් භාවිතය සාධාරණ තැනකට ගෙනඑනු ලැබු බවත් කී අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඖෂධ මාෆියාව විනාශ කර වංචා දුෂණ අඩු කළ බවත් ලංකාවේ සෞඛ්‍ය සේවාව අනෙකුත් රටවලට ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබෙන අමාත්‍යවරයා පෙන්වා දුනි.

“බෝ නොවන රෝග පාලනය කිරිම සඳහා සීනි, ලුණු සහ තෙල්වලට බදු පැනවිය යුතුයි. පැණිබීම වර්ගවල සියයට 6 කට වඩා සීනි තිබේ නම් වැඩිවන සෑම සිනී ග්‍රෑම් එකකටම රුපියලක බද්දක් අය කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබෙනවා. මෙලෙස බදු පැනවීම තුලින් වසර 2025 වනවිට රෝගවලින් සියයට 30 ක් අවම කිරීම අපගේ අරමුණයි. රෝග නිවාරණය ඉතාම වැදගත්. ඇතැම් වෛද්‍ය සංගම්වලට ඖෂධ සමාගම් දෙකක් විසින් මුදල් ලබාදී තිබෙනවා මට විරුද්ධව කටයුතු කිරීමට. එක් ඖෂධ සමාගමක තොරතුරු මගේ ලග තිබෙනවා. අපේ පරමාර්ථ ජයගැනීම සඳහා බලවේගවලට විරුද්ධව කටයුතු කළ යුතුයි. නැතිනම් ජයග්‍රහණයක් ලබාගන්න බැහැ”.

“සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පරිවර්තනයක් දියත් කළ යුතුයි. නවක පත්වීම්ලාභීන් වෙත විවිධ සෞඛ්‍ය වෘත්තීය සංගම් එන්න පුලුවන්. ඇතැම් අය විරුද්ධවයි කටයුතු කරන්නේ. ඇතැම් සංගම් සෞඛ්‍ය සේවාව ජයගැනීම සඳහා කටයුතු කරනවා. මෙය සෞඛ්‍ය පිළිබඳ මාරාන්තික අරගලයක්. සෞඛ්‍ය සේවාව ජය ගැනීම සඳහා සියලු දෙනාගේ ම සහයෝගය අවශ්‍යයයි. ඇතැම් වෛද්‍යවරුන් ද දූපත් මානසිකත්වයෙන් කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් වුවත් විද්‍යාව අවිද්‍යාවෙන් හදාරා ඇත්නම් වැඩක් නැහැ. හෙද හෙදියන් උපාධිධාරීන් බවට පත් කළ යුතුයි. එවිට ඔවුන් ද වෘත්තීයවේදීන් බවට පත්වෙනවා. එම වෘත්තීයවේදීන් සඳහා විධිමත් වැටුප් තලයක් ද සකස් කරනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධයක්ෂවරුන් සහ වෘත්තිය සමිති නායකයින් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *