ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කාන්තා කටයුතු ගැන වෙනම තනතුරක්

(කොළඹ, ලංකාපුවත්) –වනිතා කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එකට එක්වී සියලූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ අද(14) පැවැති කොළඹදිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් හමුවීම සහ විවාහ රෙජිස්ටාර්වරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

ස්වදේශ කටයුතු ඇමැතිතුමාත්, නියෝජ්‍ය ඇමැතිතුමාත් එක්වී ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඉතා හොදින් සිදු කරමින් සිටිනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමා රට පුරා යමින් අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා විටින් විට මාත්, ජනාධිපතතුමාත් දැනුම්වත් කරනවා. එතුමා ඉටු කරන ඒ සේවාව පිළිබඳව මගේ ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. ඒ වගේම එතුමාගේ වැඩ කටයුතු සඳහා උපකාර කිරීමට දක්‍ෂ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද සිටිනවා. එම නිසා නිමල් ලංසා මැතිතුමාටත් මම ප්‍රශංසා කරනවා.

රජයේ බොහෝ කටයුතු ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි. එදා මම බියගම මන්ත්‍රී ලෙස තේරී පත්වූ වහාම පළමුවෙන් සිදු කළේ කැළණිය සහ මහර කොට්ඨාශ ද නියෝජනය වන පරිදි බියගමට ප්‍රාදේශීය ලේකම්වරයෙක් පත් කිරීමයි. එම ප්‍රාදේශීය ලේකම්තුමා බියගම ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට මා සමග ඉතා හොදින් කටයුතු කළා. ඒ වගේම ගංවතුර ආපදා වැඩ කටයුතු සිදු කිරීමේ දී දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් ප්‍රාදේශීය ලේකම්වරු ගණනාවක් ද මට හමුවුණා.

අපි දැන් සූදානම් වන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔබ හරහා අලූත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මා ජනාධිපතිතුමා සමගත් මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු වී ජාතික ආණ්ඩුවක් බිහි කළේ පළමු වතාවටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් අපි එම ජාතික ආණ්ඩුවි බිහි කළේ රටේ සංවර්ධන වැඩ කටයුතු වෙනුවෙනුයි. රට මුහුණ දී ඇති ගැටලූවලට විසඳුම් සෙවීමට නම් අප කෙටි කාලයක් හෝ එකට එක්ව වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ අනුව එතුමා ජනාධිපති ධූරයට තේරි පත් වීමෙන් පසු මා අගමැති ලෙස වැඩ බාර ගත් අතර සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකට එක්වී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් මේ වැඩ කටයුතු ආරම්භ කළා.

පක්‍ෂ දෙකක් එක්ව වැඩ කිරීමේ දී බොහෝ විට ගැටලූ පැන නැගිය හැකියි. එම ගැටලූ ශ්‍රී නිදහස් පක්‍ෂය තුළ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය තුළ ද ඇති වනවා. විවිධ අදහස් මතු වෙනවා… නමුත් අප කෙසේ හෝ ඉදිරියට යා යුතුයි. අපි බොහෝ විට අවදානය යොමු කළේ බ්‍රිතාන්‍ය ක්‍රමයට වඩා ජර්මන් ක්‍රමය පිළිබඳවයි. ඇතැම් විට රටක ප්‍රධාන පක්‍ෂ එකතු වීමත්, ඇතැම් විට ඒවා බෙදී යාමත් එම ක්‍රමය තුළ දක්නට ලැබෙනවා. ප්‍රධාන පක්‍ෂ එකට එකතු වී වැඩ කළ ද, වෙන් වී වැඩ කටයුතු කළ ද ඉන් බොහෝ කාර්යභාරයක් පැවරෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් වෙතයි.

ජාතික ආණ්ඩුව නිර්මාණය කර වසර දෙකක් සපිරෙන සැප්තැම්බර් 04 වන දින “2025 ආර්ථික සැලසුම” ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. මගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා ඒ සම්බන්ධයෙන් අනෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කරනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරනවා. 2025 ආර්ථික දර්ශනයේ පිටපතක් මේ සියලූ දෙනා වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කිරීම සුදුසු යැයි මම යෝජනා කරනවා. ඒ අපේ ආර්ථික දර්ශනය පිළිබඳව ඔබට සාමාන්‍ය දැනුමක් ලබා ගැනීම සඳහායි. නමුත් ඊටත් වඩා සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් නිර්මාණය කර තිබෙනවා. ඒ රාජ්‍ය අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහායි.

අපි සංවර්ධන ඉලක්කයන් සඳහා ගමන් කරන්නේ පෞද්ගලික ආයෝජන හරහායි. අපේ මුදල් යොදවන්නේ එම සැලසුම් සකස් කිරීම සඳහායි. ආයෝජන මණ්ඩලය හරහා පුද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන විට එම කටයුතු ඉදිරියට කර ගෙන යාමට ඔබේ සහයෝගය අවශ්‍ය වනවා. ඒ අදාළ වාර්තා සීඝ්‍රයෙන් ඔබ හරහා අප වෙත එවිය යුතු වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ ඇති කුඩා ව්‍යාපාර වෙතත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

මෙහිදී මම තවත් එක් අංශයක් ගැන කතා කරන්න කැමතියි. ඒ කාන්තා වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධවයි. අපේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ කාන්තා සැලසුම් හා වැඩ කටයුතු සම්බන්ධයෙන් අඩුවක් දක්නට ලැබෙනවා. නමුත් මේ රටේ කාන්තා ප්‍රතිශතය 52% ක තරම් අගයක් ගන්නවා.

රටේ ප්‍රාදේශීය මට්ටමේ, තරුණ සේවා, කෘෂිකාර්මික, වාරිමාර්ග, විදුලි බල, මාර්ග ඉදිකරීම, අධ්‍යාපනය ආදී සියලූ ක්ෂේත්‍රයන්වල වැඩ කටයුතු හොදින් සිදු වුණත් කාන්තා වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධයෙන් අඩුවක් දක්නට ලැබෙනවා. ආගමික වැඩ කටයුතුත් ඉතා හොදින් සිදු කරනවා. නමුත් 52% ක් වන රටේ කාන්තාවන් වෙනුවෙන් අප සිදු කරන්නේ මොනවාද? එම නිසා එය ප්‍රධාන කොට සැලකිය යුතුයි. අපේ අමාත්‍යාංශය හරහා කාන්තා කටයුතු සහ සැලසුම් වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එම තනතුර සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගෙන මනා පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව ඒ සඳහා පත්වීම් ලබාදීමට නියමිතයි. ඉන් පසුව මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද පුහුණුවක් ලබාදිය යුතුව තිබෙනවා. එම පුහුණුවෙන් පසු වැඩ කටයුතු ආරම්භ කර ඉදිරියට යා යුතුයි. ඒ ආකාරයට වැඩ කටයුතු කර කාලයක් ගත වන විට දක්‍ෂතා සහිත නිලධාරීන් හරහා ඒ වැඩ කටයුතු දිස්ත්‍රික් මට්ටම දක්වා ගොන ගොස් තවත් ඉදිරියට යා හැකියි.

මෙහි තවත් අංශයක් තිබෙනවා. ඒ එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී 25% ක අනිවාර්ය කාන්තා නියෝජනයක් ඇති කිරීමයි. ඒ අනුව මැතිවරණවල දී පිරිමි අපේක්‍ෂකයන්ට 75% ක උපරිම මැතිවරණ නියෝජනයක් හිමි වනවා. පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනයක් ඇති කර එහි ඇති අඩුපාඩු සකසා ගනිමින් එම ක්‍රමය ඉදිරියේ දී පළාත් සභා තුළ ද ක්‍රියාත්මක කළ හැකි වෙනවා.

කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ඇති කිරීම හරහා බිම් මට්ටම තුළ විශාල කාන්තා නියෝජනයක් ඇති වීමට නියමිතයි. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම කාන්තා වැඩ කටයුතු සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙම කාන්තා නියෝජිතයන් වෙත පැවරෙන රාජකාරීය වනවා.

පළාත් පාලන ආයතන සහ පළාත් සභා තුළ කාන්තාවන්ට නියෝජනයක් අත්‍යවශ්‍ය බව මා පැවසූයේ අපි විපක්‍ෂයේ සිටින කාලයේ සිටයි. එහිදී එම යෝජනා ඉදිරිපත් කළත් ඒවා ක්‍රියාවට නැංවූයේ නැහැ. නමුත් 2015 වසරේ දී කාන්තාවන්ට 25% ක නියෝජනයක් ලබාදිය යුතු බවට නීතියක් සම්මත කර ගත්තා. එම නීතිය සම්මත වුණේ මනාප ක්‍රමය සහ පැරණි මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පැවතියදීයි. නමුත් පැවැති එම මැතිවරණ ක්‍රමය අපි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී අප බලාපොරොත්තු වන්නේ 60% ක් කොට්ඨාශ ක්‍රමය යටතේත්, ඉතිරි 40% ක් අනුපාත ක්‍රමය යටතේත් තෝරා පත් කර ගැනීමටයි. පක්‍ෂ නායකයන් මුණගැසී අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ හරහා ඉදිරියේ දී තෝරා පත් කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යනවා. දැන් තිබෙන්නේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි.

අයවැය සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් වැඩ කටයුතු දෙසැම්බර් මාසයේ අවසන් වූ පසු මැතිවරණයේ වැඩ කටයුතු ජනවාරි මාසයේ පැවැත්වීමට සූදානම් කරන්නැයි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අපි ඉල්ලීමක් කළා. ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මැතිවරණයෙන් කාන්තා නියෝජිතයන් තේරී පත්වූ පසු පෙබරවාරි මාසයේ සිට ඔවුන් තමන්ගේ රාජකාරී ආරම්භ කරනවා. මීට අමතරව කාන්තා වැඩ කටයුතු සම්බන්ධයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අයවැයට ඇතුළත් කිරීමට අපි මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටිනවා. එවිට කාන්තා නියෝජිතයන් සහ කාන්තා කටයුතු වෙනුවෙන් පත් කරන සංවර්ධන සහකාරවරුන් යන අංශ දෙකම කාන්තාවන් වෙනුවෙන් රාජකාරී ඉටු කරනවා. මෙම නව වැඩ කටයුත්ත වෙනුවෙන් අපි ඉදිරියේ දී අවධානය යොමු කරනවා. අවුරුදු 8 – 9 ක් පුරා කාන්තාවන් වෙනුවෙන් අප සැලසුම් කළ මූලික වැඩ කටයුතු මේ අනුව අවසන් වෙනවා. දැන් තිබෙන්නේ ඉදිරියට යාමටයි. ප්‍රාදේශීය ලේකම් ෙක්‍ෂ්ත්‍රයේ 70% ක් පමණ තනතුරු දරන්නේ කාන්තාවනුයි. ඔවුන් එම වගකීමත් භාර ගෙන ඉදිරියට යා යුතුයි. ඒ අනුව මේ වැඩසටහනෙන් පසු ඔබට කාර්යක්‍ෂමව ඉදිරි වැඩ කටයුතු ඉටු කිරීමට හැකි වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *