දෙහිවල සත්තු වත්ත සිකුරාදා සිට රාත්‍රියටත් විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන සිකුරාදා (22) සිට සතියකට තෝරා ගත් දින තුනක් දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂිත කලාපයක් රාත්‍රී කාලය සඳහා මහජනතාවට විවෘත කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් මස 22වනදා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හිදී රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ මහජනතාවට සත්වෝද්‍යානය විවෘත වනු ඇත.

නිශාචර සතුන් වෙසෙන කලාපය මෙසේ රාත්‍රී කාලයට විවෘත කර තැබීමට නියමිතය.

ඒ අනුව රාත්‍රී කාලයේදී සතුන්ගේ චර්යා රටා ස්වාභාවිකව අත්විදිය හැකි දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ එකම සත්වෝද්‍යානය බවටත් දෙහිවල සත්වෝද්‍යානය පත්වෙනු ඇත.

මේ ආකාර ක්‍රමවේදයන් සංචාරකයින් බහුල සිංගප්පූරුව වැනි රටවල ‘නයිට් සෆාරි’ ලෙස ක්‍රියාත්මක වේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව 20 වන සියවසේ මුල් භාගයේ ආරම්භ කරන ලද, වන සතුන් සංරක්ෂණය කළමනාකරනය සහ වසර පුරාම සතුන් ප්‍රදර්ශනයට පුරෝගාමී වු ආයතනයකි.

මෙය යුරෝපීය සත්ව උද්‍යාන සඳහා සතුන් අල්ලා එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කල අතර 1936 වසරේදි රජයට පවරා ගන්නා ලදි. වර්ෂ 1946 දී මෙය ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් විය.මෙහි මුලික ඉලක්කය සත්ව සංරක්ෂණයට වඩා ජනතාවගේ කුතුහලය හා විනෝදාස්වාදය ලබා දීම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *