ඖෂධ මිල සංශෝධන කෙරෙන ගැසට් නිවේදනය හෙට පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයන් ඉටු කිරිම වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු සංශෝධනය කිරිම සදහා 2017 ජුනි මස 14 වන දින ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය හෙට (22) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදු කර ඇත්තේ වසර 09 කට පසුවය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සදහා අය කළ ගාස්තුව සංශෝධනය කිරීමට බලපෑ අරමුණූ කිහිපයක් ද වෙයි. අය කළ ගාස්තුව ඉතා අවම අගයක පැවැතීම නිසා ඖෂධ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිත ආයතන මගින් එකම ඖෂධය නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදන සමාගම් කිහිපයක දේශීය නියෝජිතභාවය ලබාගෙන එම ඖෂධ ලියාපදිංචි කර වෙළෙදපොල වෙත ඉදිරිපත් නොකර තබා ගනිමින් මිල ඉහළම නිෂ්පාදකයාගේ නිෂ්පාදනය පමණක් වෙළෙදපොලට දැමීම මගින් පවත්වාගෙන ගිය ඖෂධ ඒකාධිකාරය බිදදෑමීම එක් අරමුණක් වේ.

ඖෂධ ලියාපදිංචි මිල අවම වීම නිසා ඖෂධ අනවශ්‍ය ප්‍රමාණයෙන් රට තුලට ඇතුලුවීම සහ සිදු වූ අවභාවිතය අවම කිරීම මෙම පාරිභෝගිකයින් වෙත ලබාදෙන පහසුකම් වැඩි කිරිම තවත් අරමුණකි.

2015.07.01 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමෙන් පසු රෝගී ආරක්ෂාව සදහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම, හෘද රෝගීන් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල සහ අක්ෂි කාච මිල අඩු කිරීම සිදු කර ඇත. ඉදිරියේ දී ඖෂධ ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය වන රෙගුලාසි යාවත්කාලීන කිරිමට නියමිතය.

තව ද පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාතයවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකට අනුව තොග වශයෙන් ඖෂධ අලෙවිකරන ස්ථාන ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 10,000 කින් අඩු කිරීමට ද සිල්ලර වශයෙන් ඖෂධ අලෙවි කරන ස්ථාන ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 7500 කින් අඩු කිරීමට ද තීරණය කර ලදි. ඒ සදහා වූ ලේඛණ නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ඉන් පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *