2018 ජාතික වෙසක් උත්සවය කුරුණෑගලදී

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන වසරේ ජාතික වෙසක් දින මහෝත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මෙම ජාතික උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන්නේ ප්‍රථම වරටයි. ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මස 28 දින සිට මැයි 04 දින දක්වා මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව මෙම ජාතික වෙසක් දින උත්සවයේ කටයුතු සංවිධානය කරයි.

පන්සිල් සුරකින අධ්‍යාත්මික හා ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් සමාජයක් ගොඩ නැංවීම 2018 වසරේ වෙසක් දින ජාතික මහෝත්සවයේ පරමාර්ථය බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර මහතා පැවසීය.

බෞද්ධ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, බෞද්ධ සමිති ශක්තිමත් කිරීම, බෞද්ධයාගේ නිර්මාණ කුසලතා එළි දැක්වීම, ලෝක සාමය උදෙසා බුදු දහම පදනම් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණු බව ද ඒ මහතා පැවසීය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉපැරණි විහාරස්ථාන සංරක්ෂණයට දායකවීම සහ දිස්ත්‍රික්කයේ පිහිටි නටබුන්ව පවතින ඉපැරණි දළදා මාලිගාව යළි ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදීම ද මෙහිදී සිදු කෙරෙන විශේෂ කර්තව්‍යක් වන බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *