(කොළඹ, ලංකාපුවත්) – අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
සහල් ආනයනයේදී පෞද්ගලික අංශයේ වෙළඳුන් විසින් අධික ලාභයක් තබා ගනිමින් මිල ගණන් නියම කරන බව මෙහිදී අනාවරණය වූ අතර අදාළ වෙළෙඳුන් සමග සාකච්ඡා කර මිල ගණන් පහත දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය රිශාද් බදුර්දින් මහතා වෙත උපදෙස් දුන්නේය.
එසේම ඉදිරි මාස කිහිපය තුළදී රජය මගින් විදේශයන්හි පවතින මිල ගණන් නොසලකා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට උපදෙස් ලබාදුන් අතර සතොස මගින් අලෙවි කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් හෙට සිට පහළ දැමීමටත් අදාළ මිල ගණන් හෙට දින තුළ ප‍්‍රකාශයට පත්කිරීමටත් ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.
ලොකු ලූනු සහ අර්තාපල් මිල ගණන්වල ඉහළ යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ලොකු ලූනු සහ අර්තාපල් කිලෝ ග‍්‍රෑම් එකක් රුපියල් 65 කට අඩු මිලකට ආනයනය කළ ද ඉතා අධික ලාභ මත පාරිභෝගිකයාට අලෙවි කිරීම සිදුවන බවත් ඒ පිළිබඳව අවධානය යොමුකර මිල ගණන් පාලනයට වහාම පියවර ගන්නා ලෙසත් පාරිභෝගික සේවා අධිකාරියට ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී. එසේම සතොස මගින් අලෙවි කරන ලොකු ලූනු සහ අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට හෙට සිට අලෙවි කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙන ලදී.
වෙළෙඳපොළේ පොල් මිල අධික ලෙස ඉහළයාම සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක වන ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබාදුන් ජනාධිපතිතුමා ලබන සඳුදා සිට අතරමැදියන්ගෙන් තොරව ජංගම රථ යොදා ගනිමින් සෘජුවම පාරිභෝගිකයන් වෙත පොල් අලෙවි කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.
අත්‍යාවශ්‍ය ආහාර ආනයනයේදී නිසි ටෙන්ඩර් පටිපාටිය ක‍්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වන නමුදු අනවශ්‍ය පරිපාලන හා නීතිමය ක‍්‍රියාදාමයන් මගින් නිලධාරීන්ට ගැටලුවලට මුහුණපෑමට සිදුවේයැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව ද නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් කාර්යක්ෂමව ක‍්‍රියාකරන ලෙස ද නිලධාරීන්ට රාජකාරිය ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
වෙළෙඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අත්‍යාවශ්‍ය ආහාරවල ප‍්‍රමාණ සහ මිල ගණන් සතිපතා රැස්වී තීන්දු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි බව ද මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තිරණ සක‍්‍රීයව සෘජුව ක‍්‍රියාත්මක විය යුතු බවට ද ජනාධිපතිතුමා සඳහන් කළේය.