පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සහ සංරක්ෂණය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් තම වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර පිළිබඳ පර්යේෂණ ග‍්‍රන්ථය, ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ(27) පස්වරුවේ කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවය අමතමිනි.

අපගේ ඓතිහාසික උරුමයන් මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කළ යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ මෙන්ම බෞද්ධ වෙහෙර විහාරස්ථාන ද ආරක්ෂා කර ගනිමින් එහි ඉදිරි පැවැත්ම වෙනුවෙන් සියලුදෙනා සිය මෙහෙවර ඉටුකිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

බෞද්ධ ප‍්‍රතිමා ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායේ සුවිශේෂී කලාවන් සමඟ ගොඩනැගුණු ප‍්‍රතිමා ගෘහ විශේෂයන් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රය විසින් HETC ව්‍යාපෘතියේ අරමුදල් යටතේ දියත් කරනු ලැබූ ඉහළ ප‍්‍රමිතිගත පර්යේෂණයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස මෙම කෘතිය පාඨකයින් අතට පත් කෙරේ.

පොකුරු වශයෙන් පිහිටා තිබෙන වර්තමාන ටැම්පිට විහාර ජාලය 177 ක් වන අතර ඒ සියල්ල මෙහි ලේඛනගත කර තිබේ. තෝරාගත් ටැම්පිට විහාර 100ක පෙනුමත්, බිමි සැලැස්මත් මෙහි අන්තර්ගතය තුළ ඉදිරිපත් කර තිබෙන අතර පොකුරු වශයෙන් පිහිටිම, ප‍්‍රාදේශීය විශේෂතා, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ විශේෂතා යන සියල්ල ටැම්පිට විහාරයේ ආකෘතියට හා ව්‍යුහාත්මක ස්වභාවය ගොඩනැගීමට හේතු ලෙස බලපා තිබීමත්, වර්තමාන තත්ත්වයත් මේ තුළ සාකච්ඡා කර තිබේ.

එමෙන්ම 17 වන සියවසේ මැද භාගයේ සිට 19 වන සියවස මුල් භාගය දක්වා ලාංකීය විහාරාංග සම්ප‍්‍රදාය තුළ සිදුවූ පුනර්ජීවනයට සාක්ෂි සපයන මෙම ටැම්පිට විහාර ජාලය හරහා පුළුල් සමාජ කියවීමකට මග විවරණය කරනු ලබයි.

කර්තෘ ගංගා රාජිණි දිසානායක මහත්මිය විසින් මෙහිදී ග‍්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

පර්යේෂණ කණ්ඩායම උදෙසා සමරු ඵලක ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ විසින්,ටැම්පිට විහාර රැකගැනීමේ ජාතික වැදගත්කම, මැයෙන් මෙහි විශේෂ අනුශාසනාව සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *