ඉදිරි විදෙස් ආයෝජන ලබා ගැනීමේ බලාපොරොත්තුව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර දෙකක තුනක කාලය තුළ දී ඩොලර් බිලියන 03 ක් හෝ 04 ක්, එනම් රුපියල් බිලියන 600ක පමණ විදේශ ආයෝජන ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශීය වශයෙන් මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහ කුඩා ව්‍යාපාරිකයන් දිරිගැන්වීම සඳහා වෙනම වැඩසටහනක් ඇති කරන බවත් ඒ අනුව විදේශ ආයෝජන සහ දේශීය ආයෝජන ලබාගෙන හොඳ අනාගතයක් ඇති කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ මධ්‍ය ආදායම්ලාභී වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක, මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ(28) කොට්ටාව, කුලසෙවනවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

අද අප කැප වී සිටින්නේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීමට බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි වසර දෙකේ දී තවත් ණය ගෙවීමට තිබුණත්, එම ණය ගෙවමින් පුද්ගලික ආයෝජන මගින් මේ රටේ ආර්ථික වර්ධන වේගය තව තවත් වැඩි කර, රැකියා සහ ආදායම් වැඩි කර ගැනීමට රජය ක්‍රියා කරන බව අවධාරණය කරනු ලැබීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *