ලාස්වේගාස් සංගීත සන්දර්ශනයකට වෙඩි ප්‍රහාරයක් – 20ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ලාස් වේගාස් නගරයේ ජන සමූහයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 20දෙනෙකු මිය ගොස් තවත් 100ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

තුවක්කුකරු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එළිමහනේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණි පිරිසකට ය.

ස්වයංක්‍රීය තුවක්කුවකින් නිකුත්වන වෙඩි හඬ මධ්‍යයේ මිනිසුන් රැස්ව සිටි ස්ථානයෙන් පලා යන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ ජාලාවලට එක්වී තිබේ.

සැකකරු “බිම හෙළා” ඇති බවත් තවත් ප්‍රහාරකයන් සිටින බවට විශ්වාස නොකරන බවත් පොලිසිය පවසයි.

ලාස් වේගාස් බිම් තීරයේ වෙනත් ස්ථානවලින් තවත් සිදුවීම් වාර්තා වී තිබුණි.

රෝහල් ප්‍රකාශිකාවක් කියා සිටියේ තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරින් 14 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවය.

වෙඩි ප්‍රහාරය සිදු වී ඇත්තේ ලාස් වේගාස් හි වේලාවෙන් රාත්‍රී 10.30ට (ග්‍රිනිච් වේලාවෙන් 05.30) පමණය.
වෙඩි උණ්ඩ සිය ගණනක් පිටවන ශබ්දය ඇසුණු බව සාක්ෂිකරුවෝ පවසති.

සිද්ධිය සැළවීමත් සමඟ එම ප්‍රදේශය කරා පියාසර කෙරෙන ගුවන් යානා වෙනත් ස්ථාන වෙත යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *