යහපත් දරු පරපුරක් ගොඩනැගීමට රජය කැපවී සිටිනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාතියේ දරු පරපුර දැනුමෙන් මෙන්ම ගුණයෙන් යුත් යහපත් දරු පරපුරක් ලෙස ගොඩනැගීමට රජය කැපවී සිටින අතර, දරුවන්ගේ ආරක්ෂාවත් අභිවෘද්ධියත් වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය එක්ව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවට ඊයේ (01) පෙරවරුවේ එක්වෙමිනි.

මත්ද්‍රව්‍යවලින් රටේ දරු පරපුර නිදහස්කර ගැනීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ඒ සඳහා ජාතික වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

රජය එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන විට දරුවන්ට වඩා මුදලට ඉහළ වටිනාකමක් ලබාදෙමින් මුදල් පසුපස හඹායන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුගිය කාලසීමාව තුළ ඊට පිළිතුරු ලබාදුන්නේ මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර නොමිලේ බෙදාහරිමින් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙම අභියෝගකාරී තත්ත්වයන් හමුවේ දරුවන් බේරාගැනීම සඳහා සමාජයේ සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කළේය.

වාර්ෂිකව දුම්වැටි සහ මත්ද්‍රව්‍යවලින් රජයට ලැබෙන වැඩි ආදායම නොසළකා රජයේ ආදායම් සකස් කළයුතු බවට තමා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ අනාගත පරපුර මතින් නිදහස් පරපුරක් බවට පත්කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කරමින් ඉන් සමාජය නිදහස් කරගැනීමේදී හොදම මාධ්‍ය සහ පණිවිඩකරුවා වන්නේ දරුවා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 40 ක් වැය කරමින් පොළොන්නරුව, තෝපාවැව විද්‍යාලය අසල ඉදිකළ ළමා සුරැෙකුම් මධ්‍යස්ථානය ද ඊයේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

අදට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ළමා සරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ඇතුළත් කළ පළමු දරුවා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න. පළාත් අමාත්‍ය සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *