කිලිනොච්චි භට පිරිස් වෙතින් මහා පරිමාණ රුක්රෝපණ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව ‘වන රෝපා’ ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ පැළ 135,000ක් පමණ රෝපණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ.

57වන සේනාංක මූලස්ථානයේ දී පසුගිය සදුදා(25) පැළ බෙදාදීම උත්සවාකාරයෙන් සිදු කෙරුණි.

එහිදී පැළ 2000ක ප්‍රමාණයක් ප්‍රදේශයේ ජනතාව සහ භටපිරිස් වෙත බෙදාදීම සිදු විය.

එසේම කිලිනොච්චි ප්‍රදේශය මුල් කරගනිමින් පැළ ලක්‍ෂයක් රෝපණය කිරීමට අපේක්‍ෂා කරන අතර ඉතිරි පැළ 35,000ක ප්‍රමාණය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය සහ 57වන සේනාංකයයටතේ ස්ථාපිත සියලු ඒකකයන් වෙත බෙදා දීමට නියමිතය.

කොස්, පොල්, කුඹුක්, කොහොඹ, මිල්ල, මාර, කජු, වීර, පලු, දොඩම්, පුවක්, දෙළුම් ඇතුළු පැළ වර්ග රාශියක් රෝපණය කිරීම සදහා ලබා දීම සිදු වේ.

කිලිනොච්චි ආරක්‍ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම පැළ බෙදාදීමේ උත්සවයට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *