අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම අරමුණයි – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යාමට සුදුසු පරිසරය සකස් කිරීම තම මූලික අපේක්ෂාව බවත් එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබා දීම පිළිබඳවත් තම විශේෂ අවධානය යොමු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා අද (04) අමාත්‍යාංශයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් මේ බව සදහන් කළේය.

ඔහු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකි. 1990 දී පරිපාලන සේවයට එක් වූ ඒ මහතා වසර 27 ක් තුළ පරිපාලන සේවයේ තනතුරු රැසක් හොබවා ඇත. සමෘද්ධි අධිකාරියේ සැලසුම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ උපදේශකයෙකු ලෙසත්, දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලෙස හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත. මුදල් අමාත්‍යාංශයේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති රංජිත් අශෝක මහතා 2015 වර්ෂයේ සිට වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල්වරයා ලෙස  කටයුතු කර ඇත.

නව ලේකම් ධූරයේ රාජකාරී ආරම්භ කරමින් රංජිත් අශෝක මහතා, රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යාමට සුදුසු පරිසරය සකස් කිරීම තම මූලික අපේක්ෂාව බවත් අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ව්‍යාපාර නගා සිටුවීමටත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබා දීම පිළිබඳවත් තම විශේෂ අවධානය යොමු කරන බව ප්‍රකාශ කෙළේය.

හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙක් වන රංජිත් අශෝක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වේ.

නව ලේකම්වරයා රාජකාරී භාරගත් මෙම අවස්ථාවට නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *