“එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු”ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙන ඒමට මෙන්ම මෙරට කෘෂිකාර්මික ප‍්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාවට නංවන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද (06) ඇරඹේ.

හෙට පෙ.ව 8.30 ට කැකිරාව තිබ්බටුවැව ජලාශය අසලදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික වප්මඟුල් උත්සවය පවත්වා මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කෙරෙන අතර, ඔක්තෝබර් 06 වනදා සිට ඔක්තෝබර් 12 වනදා දක්වා සතිය, ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ ආරම්භක සතිය ලෙස ප‍්‍රකාශයට පත්කරමින් රට පුරා ජාතික වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

ඔක්තෝබර් 06 වන දින ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතියේ ගොවි දිනය ලෙස නම් කර තිබෙන අතර, දිවයින පුරා ගොවීන්ට බීජ වී ලබා දීම, දිවයින පුරා පොල් අක්කර 2000 ක් පුනරුත්ථාපනය, 2017/18 මහවැලි කෘෂි ව්‍යාපෘති සැලැස්ම ප‍්‍රකාශයට පත් කිරීම. ගෙවතු සංවර්ධන විශේෂ වැඩසටහන් ආරම්භ කිරීම, මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු 2500 ක් ලබාදීම, රුක් රෝපණ වැඩසටහන්, නව කෘෂි තාක්ෂණය පිළිබඳව පුහුණු සහ වැඩමුළු පැවැත්වීම, කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා උපකරණ ප‍්‍රදානය ආදී වැඩසටහන් රැසක් ඒ යටතේ දිවයින පුරා කි‍්‍රයාත්මක කෙරේ.

ඔක්තෝබර් 07 වන දිනය, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ සිසු දිනය ලෙස නම් කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පහ සියනෑ ජාතික පාසලේදී පැවැත්වේ. එතැන් සිට දිවයිනේ පාසල් 10,353 ම ආවරණය වන පරිදි ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාවට නැංවෙන අතර ජාතික ආහාර නිෂ්පාදනය, වස විස නැති ආහාර නිෂ්පාදනය, ආහාර නාස්තිය වළක්වා ගැනීම යන කරුණු 03 යටතේ එම වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඔක්තෝබර් 08 වන දිනය, ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතියේ පශු සම්පත් දිනයයි. එහි සමාරම්භය පේරාදෙණිය පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සනිටුහන් කෙරෙන අතර, කිරි ගොවිපොළ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු පශු සම්පත් ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනයට අදාළ පුළුල් ජාතික වැඩසටහන් රැසක් ඒ හා සමගාමීව දිවයින පුරා කි‍්‍රයාවට නැංවේ.

ඔක්තෝබර් 09 වන දිනය ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතියේ ව්‍යවසායකත්ව දිනයයි. වයඹ පළාතේ තලවිල දේවස්ථානය ආශ‍්‍රිත භූමියේ දී සහ ඌව පළාතේ මහියංගණය ආඳාඋල්පත ගම්මානයේදී එහි සමාරම්භය සිදු කෙරෙන අතර ප‍්‍රාථමික කර්මාන්ත නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් වැඩසටහන් රැසක් දිවයිනම ආවරණය වන අයුරින් කි‍්‍රයාත්මකය.

ඔක්තෝබර් 10 වන දිනය ධීවර දිනය වන අතර මෙම සතිය තුළ මිරිදිය ජලාශවලට මත්ස්‍ය පැටව් ලක්ෂ 10 ක් මුදාහැරීමේ විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නංවන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකෙරුණු ති‍්‍රකුණාමලය කල්ලරාව මත්ස්‍ය අභිජනනාගාර මධ්‍යස්ථානය විවෘත කරමින් එහි සමාරම්භය සනිටුහන් කෙරෙන අතර විශේෂයෙන් කඳුකරයේ සහ වතුකරයේ ජනතාව තුළ මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමේ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීම, ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන් මෙන්ම රැකියා උත්පාදන වැඩසටහන් වේගවත් කිරීම සිදු කෙරේ.

ඔක්තෝබර් 11 වන දිනය, රාජ්‍ය සේවක දිනය වන අතර එහි සමාරම්භක උත්සව පැවැත්වෙන්නේ රත්නපුර පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී සහ රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදීය.

ඔක්තෝබර් 12 වන දිනය දියවර දිනය ලෙස නම් කර තිබෙන අතර, දකුණු පළාතේ මුරුතවෙල ජලාශය අසලදී සහ ඇඹිලිපිටිය ඌරුසිටාවැව අසලදී එහි ප‍්‍රධාන වැඩසටහන් සංවිධානය කෙරේ.

මේ අතර ලක්ෂ 12 කට ආසන්න මහවැලි ජනපදිකයින් මෙම වැඩසටහන සඳහා සකී‍්‍රයව පෙළගැස්වීමට මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

මහවැලි කලාප තුළ පමණක් වාරි ඉඩම් එක්ලක්ෂ පනස්දහසක් පවතින අතර එම සියලු ඉඩම් මෙම වැඩසටහන සඳහා විධිමත් අයුරින් යොදා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *