ෆින්ලන්ත කතානායකවරියගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා සහ ෆින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දෙපාර්ශවීය හුවමාරු වැඩසටහන් ඇරඹිමට ක්‍රියා කළ යුතු යැයි කතානායිකා මරියා ලොහෙලා (Maria Lohela) මහත්මිය පැවසුවාය.

ෆින්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමය හා සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීමටත්, අනෙක් රටවල පාර්ලිමේන්තු ක්‍රම හා සම්ප්‍රදායන්ගෙන් පෝෂණය ලැබීමටත් තමන් හැම විටම සූදානම් බව ද කතානායකවරිය අවධාරණය කළාය.

10 වන දා සන්ධ්‍යාවේ ෆින්ලන්ත පාර්ලිමේන්තු සංකීරණයේ කතානායක සාකච්ඡා කාමරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් ලොහෙලා මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ෆින්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට ඔවුන් ඉතා කැමැත්තෙන් සිටින බවයි.

සාකච්ඡාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි වික්‍රමසිංහ මහතා උණුසුමින් පිළිගත් කතානායකවරිය, ශ්‍රී ලංකා දූත පිරිස පාර්ලිමේන්තුව තුළ කෙටි සංචාරයකට ද රැගෙන ගියාය. පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීමට ද ඇය වික්‍රමසිංහ මහතාට ආරාධනා කළාය.

ඉන් අනතුරුව සාකච්ඡා වාරය ඇරඹිණි. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම සඳහා ගත් සාධනීය පියවර අගය කරන බව ද කතානායකවරිය ප්‍රකාශ කළාය.
ඒ සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු පියවර පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය. නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සතු වූ ව්‍යවස්ථාදායක අත්දැකීම් පිළිබඳව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කරුණු ගෙනහැර දැක්වීය.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් ඒමස් සිරිල් ඩේවිඩ් ජුලෙන්බර්ගල් (Amos Cyril David Gyllenbogel) සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර් යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *