මල්වතුඔය ජනතාවට විශේෂ වරප‍්‍රසාදයක්

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප‍්‍රශ්න විසදීම බරපතල වගකීමක් බව වාරිමාර්ග හා ජලසම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සෑම පුරවැසියෙකුටම නිවසක් ඉදිකරගැනීමට මෙන්ම ගොවිතැන් කිරීමට නීත්‍යානුකූල ඉඩම් හිමි විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් ජනතාවගේ ඉඩම් ගැටළුවට කඩිනමින් විසදීම සඳහා මේ දක්වා නොහැකි වී ඇති බව ඔහු සදහන් කළේය.

පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක ප‍්‍රගතිය විමසා බැලීම සහ එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටළු විමසා බැලීම වෙනුවෙන් ඊයේ (11) තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවද මෙම සාකච්ඡාවට කැඳවා තිබුණි.
ශී‍්‍ර ලංකාවේ ඉදිවන තුන්වන විශාලම ජලාශය පහළ මල්වතුඔය ජලාශයයි. මෙහි අපේක්‍ෂිත ජලධාරිතාව අක්කර අඩි 169440 කි. අනුරාධපුරය, වව්නියාව හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක එකට යා කරමින් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකය.

මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී පවුල් 250 ක් පමණ වෙනත් ප‍්‍රදේශවල පදිංචි කිරීමට සිදුව තිබේ. මෙම සාකච්ඡාවට පැමිණ සිටි ජනතාව ප‍්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ වැඩි ප‍්‍රතිලාභ තමන්ටද හිමි විය යුතු බවද එම වාසිය අත්පත් කර ගත හැකි පරිදි නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. එම තත්ත්වයන් ආරක්‍ෂාවන පරිදි නිවාස ඉදිකර ගැනීමට හා ගොවිතැන් කටයුතු සිදු කිරීමට ප‍්‍රමාණවත් බිම් කඩක් අවශ්‍ය බවද එම ජනතාවගේ ඉල්ලීම විය.

මෙම ඉල්ලීම් කෙරෙහි අවදානය යොමු කළ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ඉඩම් ලබා දෙමින් ඒවායේ නිවාස ඉදිකර ගැනීමටද පහසුකම් සලසන බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ අවතැන් වූවන් හෝ අනවසර පදිංචිකරුවන් බිහි නොවන බවද ඔහු අවධාරණය කළේය. ඉඩම් අහිමිවන ජනතාවට නීත්‍යානුකූල ඉඩමක අයිතිය හා නිවසක හිමිකම ලබා දීමෙන් අනතුරුව ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීම රජයේ සැලසුම බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මායිම් ගම්මානවල සිට පුත්තලම, කුරුණෑගල ඇතුළු රටේ විවිධ ප‍්‍රදේශවල බොහෝමයක් ජනතාවද ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය පිළිබඳ ගැටළුවලට මුහුණ දී සිටින බවත් ඔහු පැවැසීය. එම ගැටළු විසදා දෙමින් අදාල ජනතාවට නිරවුල් ඉඩම් අයිතිය ලබා දීමට මෙතෙක් පැවැති රජයන් විසින් පැහැදිලි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොවූ බව තමන්ගේද විශ්වාසය බවත් තමන් නියෝජනය කරන පුත්තලම දිස්ති‍්‍රක්කයේ විශාල පිරිසක්ද මෙම ගැටළුවට මුහුණ පා සිටින බවත් එහු සඳහන් කළේය. වත්මන් රජය මෙම ගැටළුව විසඳීමට පියවර ගනිමින් සිටින බවද රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. එමෙන්ම මල්වතුඔය ජලාශය යටතේ ඉඩම් අහිමිවන ජනතාවට නීත්‍යානුකුල ඉඩම් අයිතිය ලබා දීම හා ඊට අදාල වැඩපිළිවෙල නිරවුල්ව හා පැහැදිලිව කි‍්‍රයාත්මක කිරීම සඳහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

රජයේ නියමයන්ට අනුව ලබා දිය හැකි ඉඩම් ප‍්‍රමාණය හා වන්දි ඇතුළු අනෙකුත් ප‍්‍රතිලාභ සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි කරමින් මල්වතුඔය ජලාශය යටතේ ඉඩම් අහිමිවන ජනතාවට ප‍්‍රතිලාභ අත්කර දීමට පියවර ගන්නා බවටද අමාත්‍යවරයා පොරොන්දු විය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ උමාඔය වැනි ව්‍යාපෘති මගින් ජනතාව මහත් පීඩාවකට පත්කර ඇති බවයි. දේශපාලන නායකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එවැනි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කෙරුණූ බවත් වත්මන් රජය යටතේ කි‍්‍රයාත්මක වන්නේ ජනතාවටත් රටටත් ප‍්‍රතිලාභ අත්්වන ව්‍යාපෘති පමණක් බවද ඔහු අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *