මත්තල ගුවන් තොටුපොළේ ඉදිරි ක්‍රියාකාරීත්වය අගමැති පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතු වී මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරවීමට සාකච්ඡා කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව වරාය සහ මත්තල ගුවන් තොටුපළ ණය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ ආශ්‍රිතව කර්මාන්ත බිහි කිරීම රජයේ අරමුණ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ අදහස් පළ කර සිටියේ බද්දේගම සතිපොළ අසල ඊයේ(15) පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහි දී අදහස් පළ කරමින් අගමැතිවරයා මෙසේ ද පැවසීය.

“හම්බන්තොට දියුණු වන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප්‍රශ්න කරාවි. ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරායන් දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත්‍රික්කය ඒ සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට අප දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප්‍රදේශ ආශ්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මනින් රැකියා උත්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. ඊළග වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.

එමෙන්ම වෙළෙඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත් වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත් වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරායන් දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතියක් තිබෙන නිසයි. ආණ්ඩුවෙන් මෙන්ම පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලින් ද ඒ දියුණුව සදහා වැඩ කටයුතු කළ යුතුයි.”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දියුණුවක් ඇති කර සිංහරාජ වනාන්තරය ද ආරක්‍ෂා කර ගනිමින් සංචාරක මාර්ගයක් බිහි කරන බවය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *