පරිසර සංරක්ෂණය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු සෑම වැඩසටහනක්ම ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාවට නංවන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –මතු පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් රට තුළ කි‍්‍රයාත්මක කළ යුතු සෑම වැඩපිළිවෙළක්ම ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති Sri Lanka NEXT නීල හරිත යුගයක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය සහ 2017 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.

නීල හරිත යුගයක් ජාතික වැඩසටහන අද සහ හෙට දෙදින පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව දේශන, සම්මන්ත‍්‍රණ, සංවාද ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

2015 වසරේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේ දී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට එහි සාමාජික රටවල් අතර එකඟතාවයක් ඇති කරගන්නා ලදී.

ආසියාතික රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව මුලින්ම එම ගිවිසුමට අත්සන් තැබූ අතර ඒ අනුව හරිත සංවර්ධනය යටතේ ඇති විවිධ ක්ෂේත‍්‍ර සඳහා විශේෂ අවධානය යොමු කරමින් නීල හරිත යුගයක් ගොඩනැගීමට ශී‍්‍ර ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටී.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, කොන්කි‍්‍රට් නරගවලින් බැහැරව ගහ, කොළ, ඇළ, දොළ සමග පෝෂණය වූ සොබාදහම රැකගනිමින් රට හරිත සංවර්ධනයක් කරා ගෙන යාමට සියලුදෙනා වගකීම් ඉටුකළයුතු බවයි.

පරිසරය මිනිසාට අභියෝගක් වෙමින් පවතින යුගයක පරිසර සංරක්ෂණය වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට සියලු දෙනා ප‍්‍රමාදයකින් තොරව කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පරිසර සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ සාර්ක් රටවල පරසරවේදීන්, විද්වතුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *