ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේදී ජනාධිපති ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලබන 29 වනදා ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තානු තෙවැනි විස්සයි 20 තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට එරට සංචාරය කරන ජනාධිපතිවරුන්ට ලැබෙන ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ලාහෝර් සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ පිරිසක්ද සහභාගී වෙති. එනිසාම පාකිස්තානු රජය සහ එරට ආරක්ෂක අංශ වෙනදාට ලබාදෙන සාමාන්‍ය ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් සැපයීමටද තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ සංචාරය සඳහා පොලිස්පතිවරයාද සම්බන්ධ කරගනිමින් ආරක්ෂක තත්ත්වය නිරතුරුව සොයා බැලීමටද නියමිතය. එමෙන්ම සංචාරයට සහභාගී වන රාජ්‍ය තාන්ත්‍රිකයන්, ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ විවිධ පාර්ශ්වද විශාල මුදලකට රක්ෂණය කර ඇතැයිද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පාකිස්තානයේදී ලැබෙන ආරක්ෂාව පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

“ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපි පොලිස්පතිතුමාටත් කතා කරලා ඒ අයවත් අපි ලාහෝර් නුවරට යවනවා ආරක්ෂාව බලන්න. අනික අයි.සී.සී එකෙනුත් ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙලා තිබෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ලාහෝර් තරගයට ක්‍රීඩා කරන්න තීරණයකට ආවේ ඒ සියලුම දේවල් පිළිබඳව සොයා බලලයි. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වනවිට තිබුණු තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ. එදා මෙහෙම විශාල ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණේ නැහැ. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අපිට සහතිකයක් ලැබිල තියෙනවා.

ඒ නිසා මමත් අදාළ සංචාරයට සහභාගී වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපතිවරයෙක්ට සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දෙන ආරක්ෂාව ලබාදෙන්න පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ රජය පියවර ගෙන තිබෙනවා. අනික පාකිස්තානය කියන රට පුදුම විදිහට අපිට උදවු කරපු රටක්. යුද්දෙදී වගේම අනෙකුත් කාරණාවලදීත් අපිට පාකිස්තානය ගොඩාක් උදවු කරලා තිබෙනවා” යැයි ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *