පොරොන්දු ඉටුකළ ජනපති, විද්‍යා දැරියගේ නව නිවසට යයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව හමුවීමට පසුගිය 21වනදා වව්නියා ප‍්‍රදේශයේ සංචාරයේ නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එම නිවසට ගියේය.
2015 වසරේදී ජනාධිපතිතුමාගේ යාපනය සංචාරය අතරතුර දී විද්‍යා දැරියගේ මව ජනාධිපතිතුමා හමුවූ අතර, එහිදී එම දැරියගේ මව විසින් ආරක්ෂක හේතූන් මත තමන් ඇතුළු පවුලේ සැමට වව්නියා ප‍්‍රදේශයේ නව නිවසක් ඉදිකර දෙන ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළාය.

එම ඉල්ලීමට අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් වව්නියා ප‍්‍රදේශයේ නව නිවසක් කඩිනමින් ඉදිකර දුන් අතර පසුගිය දිනක විද්‍යා දැරියගේ පවුලේ සියල්ලන් එහි පදිංචියට යනු ලැබීය.

තම පොරොන්දු ඉටුකර දීමෙන් අනතුරුව එම නව නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සුව දුක් විමසා සුදහ සාකච්ඡාවක නිරත වූ අතර විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බව ද සඳහන් කළේය.

මෙහිදී විද්‍යා දැරියගේ ඝාතනයට අදාළව නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිතුමා දැක්වූ සහය හා මැදිහත්වීම පිළිබඳව ද එම දැරියගේ මව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.

මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තානා, පොලිස්පත් පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *