සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

2017 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 7.9%ක් ලෙස වාර්තා විය. උද්ධමනය ඉහළ යාමට 2016 සැප්තැම්බර් මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇත. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 6.1%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.6%ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත. එහෙත් 2016 සැප්තැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ මිළ ගණන් අවම මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ දායකත්වය 2.1%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.7%ක් විය.

කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළ විට, 2017 අගෝස්තු මාස‍යේ 122.3 ක් වූ දර්ශක අගය 2017 සැප්තැම්බර් මාසයේ 123.3ක් දක්වා ඉහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කළ විට 2017 සැප්තැම්බර් මාසයේ දර්ශකාංක 1.0ක වැඩිවීමක් හෝ 0.8ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.80%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.07%කින් වැඩිවීම බලපා ඇත.

ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා සහල්, පොල්, රතුළූණු, ලොකු ළූණු, සීනි, දෙහි, කෙසෙල් සහ පැපොල් යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් එළවළු, අළුත් මාළු, මයිසූර් පරිප්පු, අමු මිරිස් සහ සුදු ළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

පසුගිය මාසය හා සසඳන කළ 2017 සැප්තැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, ‘අධ්‍යාපන’, ‘රෙදිපිළි හා පාවහන්’, ‘විවිධ භාණ්ඩ හා සේවා’, සහ ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත.

තවද ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ යන කාණ්ඩයේ වියදම්වල වටිනාක‍මෙහි සුළු වැඩිවීමක් වාර්තා වේ. කෙසේ වෙතත්, 2017 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අන්තර්ජාල ගාස්තු සඳහා වන විදුලි සංදේශ බද්ද ඉවත් කිරීම හේතුවෙන් ‘සන්නිවේදන’ කාණ්ඩයේ වියදම්වල වටිනාක‍මෙහි අඩුවීමක් වාර්තා වේ. මෙම මාසය තුළ ‘සෞඛ්‍ය’, ‘ප්‍රවාහන’, ‘විනෝදාත්මක හා සංස්කෘතික’ සහ ‘ආපනශාලා හා හෝටල්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *